wadima
Spread the love

ධීතංඤ්ජලිය මහ රහතන් වහන්සේ “තිස්ස” බුදුපියාණන් වහන්සේට ශ්‍රද්ධාවෙන් වැඳීමේ මහා පිංකම සිදු කරගෙන තිබුණි.

මෙම රහතන් වහන්සේ අතීත බුදුපියාණන් වහන්සේලාගේ ශාසන වලදී නිවන් සම්පත් ලබන්නට හේතු සම්පත් ඇති කරගෙන, තැනින් තැන මහා පිංකම් සිදු කර ගනිමින් එන විට, තිස්ස බුදුපියාණන් වහන්සේ පහළවන කාලයෙහිදී වැද්දෙකු ලෙස උපත ලබා සිටියේය.

මේ වැද්දා පුංචි වයසේ සිටම ඌරන් මරමින් කැලයේම ජීවත් විය.

“තිස්ස” බුදුපියාණන් වහන්සේ ඔහුට අනුකම්පා කරමින් හිමාලයෙහි ඔහු සිටි කැලයට වැඩම කළහ. බුදුපියාණන්වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ සහ අසූ අනු ව්‍යඤ්ජන ලක්ෂණ දැක ඉතාම සතුටට පත් මෙතුමා ඇඟිලි බැඳගෙන වැන්දේය.

මේ මොහොතෙහි අහසෙහි අකුණු සහිත වැසි තත්වයක් තිබිණි. අහසින් ආ එම අකුණක් වැඳගෙන සිටි වැද්දාට වැදුණි.

වැද්දා ඒ මොහොතෙහිම මිය ගියේය.

සසරේදී, කළ අකුසල කර්ම විපාක දුන්නද ඒ හැම අකුසල විපාකයක් අතරදීම මෙම කුසල කර්මය ද විපාක දුන්නේය. මීට කල්ප පනස් හතරකට පෙර “මිග කේතු” නමින් බලවත් සක්විති රජ කෙනෙකුව උපත ලැබීය.

අප බුදුපියාණන් වහන්සේ පහළවන කාලයෙහිදී මෙතුමා කුලවත් නිවසක උපත ලැබී ය. තරුණ වයසේදීම පැවිදි විය. අතීතයේ විවිධ භවයන් වල කරගත් මහා පිංකම් වල මෙහෙය වීමෙන්ම ටික දිනකින්ම විදර්ශනා වඩා රහත් විය.

නිවන් දකින්නට හේතුව සොයමින් පෙර භවයන් සිහි කරන මේ තෙරුන් වහන්සේ අතීතයේ කළ මේ පිංකම දැක මේ විස්තරය කළහ.

(අපදාන කථා, ධීතංඤ්ජලිය ථෙරාපදානය)

සාධු සාධු සාධු
තෙරුවන් සරණයි!

*** අතිපූජණීය තපෝවනයේ රතන ස්වාමීන් වහන්සේ විසින් රචනා කළ “පිංකම්හි ආනිසංස” පොතෙන් උපුටා ගන්නා ලදී…***

පරිගණක අක්ෂර සැකසුම – Narthana Sathsara
දේශනා සඳහා Youtube :- https://www.youtube.com/channel/UCnRjougx501-eR6SEod8ZJA

Sri Lanka Buddhist