හේමන්ත සෘතුව සිරිලක සීතල දේශගුණයක් පවත්නා කාලවකවානුවකි. දුරුතු මහ හේමන්ත සෘතුවෙහි දෙවැනි මාසය සේ ම අධික සීතල මාසය ද වෙයි. දුරුතු මහ තුළ දිවා කාලය දැඩි සූර්ය තාපයෙන් යුක්ත වන අතර, රාත්‍රී කාලය දැඩි සීතලෙන් යුක්ත වෙයි.
මෙම දුරුතු මහේ උදාවන දුරුතු පුර පසළොස්වක පොහොය දිනය තුළ ශාසන ඉතිහාසයේ සදා අනුස්මරණීය සිදුවීම් කිහිපයක් ම වාර්තා වෙයි. උරුවෙල් දනව්වේ සිටි දහසක් වූ තුන් බෑ ජටිල පිරිස දමනය කිරීමෙන් පසුව බුදුරජාණන් වහන්සේ ප්‍රථමවරට සිරිලකට වැඩමවීම, සිරිලක යක්ෂ ගෝත්‍රිකයින් දමනය කිරීම, බුදුරදුන්ගේ කේශ ධාතු නිධන්කොට මහියංගන දාගැබ තැනවීම ආරම්භ කිරීම, බිම්බිසාර මහරජුගේ ඇරයුම පරිදි බුදුරජාණන් වහන්සේ දහසක් මහරහතන් වහන්සේලා ද සමඟ රජගහ නුවරට වැඩමවීම, මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමේ චාරිත්‍රය අනුමත කිරීම, සිරිසඟබෝ කුමරු මහියංගණ චෛත්‍යය අසල දී රජබවට පත්කරවීම යනාදිය දුරුතු පොහොය දිනය හා සබැඳි ඓතිහාසික සිදුවීම් ය.
මහාවංස තොරතුරු
බුදුරදුන් සිරිලකට වැඩමවීමේ ඓතිහාසික පුවත මහාවංසයෙහි දැක්වෙන්නේ මෙසේ ය.
බෝධිතො නවමෙ මාසෙ
ඵුස්සපුණ්ණමියං ජිනො
ලංකාදීපං විසොධෙතුං
ලංකාදීප මුපාගමි
බුද්ධත්වයෙන් නව වැනි මාසයේ දී දුරුතු පුර පසළොස්වක පොහොය දිනෙක ලංකාද්වීපය පරම පවිත්‍ර කරනු පිණිස බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩම කළ සේක.
සාසනුජ්ජොතනං ඨානං
ලංකා ඤාතා ජිනෙන හි
යක්ඛ පුණ්ණාය ලංකාය
යක්ඛා නිබ්බාසියා ති ච
සර්වඥයන් වහන්සේ මතු ලක්දිව බුදුසසුන සුරක්ෂිත වන බව දැන යකුන් විසින් පිරුණු ලක්දිව යකුන් බැහැර කළ යුතු යැයි, දැන වදාළහ.
ඤාතොව ලංකාමජ්ඣම්හි
ගංගාතීරෙ මනොරමෙ
තිියොජනායතෙ රම්මෙ
එකයොජන විත්ථතෙ
මහානාගවනුය්‍ය නෙ – යක්ඛ සංගාමභූමියා
ලංකාදීපට්ඨයක්ඛානං – මහායක්ඛ සමාගමො
ලංකාද්වීපයෙහි මනොරම්‍ය වූ ගං ඉවුරෙහි තුන් යොදුන් දිගු එක් යොදුන් පුළුල් වූ රම්‍ය මහා නාග වන නම් උයනෙහි යකුන්ගේ යුද බිම තුළ පැවැත්වෙන ලක්දිව් වැසි යකුන් ගේ මහා සමාගමය (සමුළුව) ප්‍රසිද්ධ විය.
උපාගතො තං සුගතො – මහායක්ඛ සමාගමං
සමාගමස්ස මජ්ඣම්හි – නත්ථ තෙසං සිරොපරි
මහියංගණථූපස්ස ඨානෙ – වෙහාසයං ඕතො
වුට්ඨාවාතන්ධකාරෙහි – තෙසං සංවෙජනං අකා
එම මහා යක්ෂ සමාගමයට වැඩම වූ සර්වඥයන් වහන්සේ එම සමාගම මැද ඔවුන්ගේ හිස් මතුයෙහි මහියංගණ ථූපය පිහිට වූ ස්ථානයෙහි අහස්කුස වැඩ සිටි සේක.
බුදුරදුන්ගේ ප්‍රථම ලංකාගමනය පිළිබඳ වූ මහාවංස වාර්තාව මේ ආදී ලෙස ආරම්භ වෙයි. එහි පසුව විස්තර වන්නේ යක්ෂ දමනය පිළිබඳවයි. ඒ අනුව බුදුරදුන්ගේ සෘද්ධි ප්‍රාතිහාර්ය හමුවේ දමනය වූ යක්ෂ පිරිස ගිරි දිවයිනට නික්ම ගියේ රුදුරු ගති පැවතුම් ඉවත ලූ සමගි සම්පන්න පිරිසක් ලෙස යි.
ඉන්ද්‍රනීලමය ස්තූපයක්
එකල්හි මහියංගණයට රැස් වූ දෙවියන්ට හා මිනිසුන්ට බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කළහ. ඔවුන් ධර්මාවබෝධය කළේ සෝවාන් ඵලාදියෙහි පිහිටමිනි. තවත් අප්‍රමාණ පිරිසක් තිසරණ සහිත පන්සිල් හි පිහිටියහ. මෙහිදී සමන්තකූට පර්වතවාසී වූ මහා සුමන නම් දෙව් රජ තෙම සෝවාන් ඵලයට පැමිණ පූජාර්භ වූ බුදුරජාණන් වහන්සේගෙන් පුද පූජා පැවැත්වීම සඳහා පූජනීය වස්තුවක් ඉල්ලීය. බුදුරජාණන් වහන්සේ හිස පිරිමැද කේශයන් අත්ලක් පමණ ප්‍රදානය කළහ. ඉක්බිති මහා සුමන දිව්‍යරාජයා එය ස්වර්ණමය වූ උතුම් කරඬුවකින් පිළිගෙන බුදුරදුන් වැඩසිටි තැන්හි සත් රියන් උස වූ හාත්පසින් විසි එකක් රියන් වූ ඉන්ද්‍රනීලමය වූ ස්තූපයක් තනවා එය නිධන් කළේ ය.
මෙසේ ලෝකයේ ප්‍රථම දාගැබ වූ මහියංගණ දාගැබ බුදුරදුන් ජීවමාන ව සිටියදී ම නිර්මාණය කොට පූජෝපහාර දැක්වීමේ ගෞරවය සුමන සමන් දිව්‍යරාජයාට හිමි වෙයි. මෙකී මහියංගණ සෑය හෙවත් මියුගුණසෑය ලොව ප්‍රථම බෞද්ධ සංකේතය වන අතර, ප්‍රථම ථූප මූර්තිය ද වෙයි.
කඤ්චුක චෛත්‍යය
පසු කාලයක සැරියුත් මහ රහතන් වහන්සේගේ ශිෂ්‍ය වූ මහත් සෘද්ධි ඇති සරභූ නම් මහ රහතන් වහන්සේ පිරිනිවි බුදුරදුන්ගේ ශ්‍රී දේහය ආදාහනය කළ චිතකයෙන් ගත් සර්වඥ ශ්‍රී වාස්ථිධාතුවත් රැගෙන සිරිලකට වැඩම වූහ. ඉක්බිතිව එය මියුගුණ සෑයෙහි නිධන්කොට මේඝවර්ණ පාෂාණයෙන් වටකොට දොළොස් රියන් උස දාගැබක් ඉදි කරවූහ. එය පළමු දාගැබ වටකොට වසා කළ හෙයින් ‘කඤ්චුක චෛත්‍යය’ නම් විය.
පසුකාලීනව දේවානම් පියතිස්ස මහරජුගේ සොහොයුරකු වූ උද්ධ චූලාභය නම් කුමාරතෙම අද්භූත වූ මෙම චෛත්‍යය දැක දොළොස් රියන් සෑය වසා තිස් රියන් උස වූ කඤ්චුක චෛත්‍යයක් කරවීය. තවද දුටුගැමුණු මහරජු ද මෙම තිස් රියන් සෑය මැදිකොට අසූ රියන් උස් කොට කඤ්චුක චෛත්‍යයක් කරවීය. ඉන්පසුව නොයෙක් කාල පරිච්ඡේදවල දී ගරාවැටුණු මෙම චෛත්‍යය ධාතුසේන, සිරිසඟබෝ, අග්බෝ, මහා පරාක්‍රමබාහු ආදී ශ්‍රේෂ්ඨ නරපතියන් විසින් ප්‍රතිසංස්කරණය කරවන ලදහ. මේ වන විට ලෝකයාගේ වන්දනාමානයට යෝග්‍යවන අයුරින් මියුගුණ සෑයෙහි සියලු ප්‍රතිසංස්කරණයන් නිම කොට තිබේ. අද අප සිහිපත් කරවන ප්‍රබලතම සාධකයකි.
බිම්බිසාර රජුගේ ඉල්ලීම
ප්‍රථම ලංකා ගමනයෙන් පසු බුදුරදුන් මගධයේ අධිපති බිම්බිසාර මහ රජුගේ ආරාධනයෙන් උරුවෙල් දනව්වේ සිට දහසක් ජටිල රහතන් වහන්සේලා ද සමඟ රජගහනුවරට වැඩම කළහ. මෙහිදී බිම්බිසාර මහ රජු වේළුවනාරාමය බුද්ධ ප්‍රමුඛ මහ සඟනට පූජා කළේ ය. මෙම ප්‍රථම ආරාම පූජාවෙන් පසු වාසය සඳහා ආරාම පිළිගැනීම යෝග්‍ය බව බුදුරදුන් භික්ෂූන් වහන්සේලාට නියම කළේ ද මෙම දුරුතු මහේ දී ය. වේළුවනාරාම පූජාවෙන් පසුදින බිම්බිසාර මහරජු ප්‍රමුඛ පිරිසට බුදුරජාණන් වහන්සේ ‘තිරෝකුඩ්ඪ සූත්‍රය’ දේශනා කළහ. මියගිය ඤාතීන්ට පින් අනුමෝදන් කරවීමේ චාරිත්‍රය ඇරඹියේ එතැන් සිටයි. එය ද දුරුතු මහේ වූ වැදගත් සිදුවීමකි.
සිරිසඟබෝ රජු
මහියංගණ චෛත්‍යය අසල දී සිරිසඟබෝ කුමරු රාජ්‍ය අභිෂේකය ලැබුවේ ද දුරුතු පුර පසළොස්වක පොහොය දිනෙක දී ය. සිරිසඟබෝ රජු ක්‍රි.ව. 247 සිට 249 දක්වා ඉතා කෙටි කාලයක් තුළ දැහැමෙන් සෙමෙන් රට පාලනය කළේ ය. ඉතිහාසගත තොරතුරුවලට අනුව මෙම රජු අත්තනගල්ලේ දී තම හිස දන් දුන් බව කියැවෙයි. බුදුබව පැතූ බෝසත්වරයකු වශයෙන් සිරිසඟබෝ රජු ඉතිහාසගත වී ඇත.
ඌරුගමුවේ අස්සජී හිමි
budusarana