බොදුහද සනහන පින්බිම

abouttemple
Spread the love

උතුරු කළුතර අශෝකාරාමාධිපති කොළඹ නව කෝරළයේ හා නව තොටමුණේ ප්‍රධාන සංඝනායක ධුරන්දර පූජනීය පරකඩුවේ සරණංකර නාහිමිපාණන් වහන්සේ දායක ඇරයුම පරිදි මහර ශ්‍රී විවේකාරාමයට වැඩම කළහ.

1999 ජනවාරි මස ගෞරවණීය නායක ස්වාමීන් වහන්සේ විහාරස්ථානයට වඩිනවිට පන්සල වල්බිහි වී ධර්මශාලාව, ආවාසගෙය වසාදමා ජරාවාස තත්ත්වයට පත්වී තිබුණි.

නායක මාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි තම ශිෂ්‍ය පූජ්‍ය මීගහතැන්නේ සංඝරක්ඛිත හිමියෝ විහාරස්ථානයේ භාරකාරත්වයට පත්වුහ.

නායක හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි සංඝරක්ඛිත හිමියන්ගේ අප්‍රතිහත ධෛර්යය නිසා විහාරස්ථානයත් මහර ගම් පියසත් ආගමික වශයෙන් සුවිශාල පිබිදීමකට ලක්විය.

නොයෙක් නොයෙක් වශයෙන් හේතුමත භේද භින්න වී විහාරස්ථානය අත්හැර දමා සිටි ගම් වැසියන් සමගියෙන් විහාරස්ථානය මුල්කරගෙන නැගී සිටියෝය.

පන්සලේ අලුත් ආගමික හා සාමාජික වැඩපිළිවෙළ ගම් වැසියන් තව තවත් ආගම දහමට නැඹුරු කරන්නට විය.

වත්පිළිවෙත් අකුරටම ඉටුවිය. කලක් අරාජිකව පාළුවට ගොස් වල්බිහිව තිබු ගමේ ආගමික ස්ථානය දහම් පිපාසාවෙන් පෙළෙන අධ්‍යාත්මික සුවය සොයන මිනිසුන්ගේ ගතසිත සනහන ප්‍රමාණයෙන් කුඩා වුවත් මහා පුද බිමක් විය.

පන්සල තුළින් ගමෙන් පන්සලට හා පන්සලෙන් ගමට යන තේමාව මුල්කරගෙන වැඩසටහන් රාශියක් ක්‍රියාත්මකය.

මහර ප්‍රදේශයේ අනන්‍යතාව මහර වෙසක්තොරණයි. දිගු ඉතිහාසයකට හිමිකම් කියන මහර වෙසක් තොරණ 2009 වර්ෂයට පෙර කලක් තිස්සේ අතහැර දමා තිබූ නමුත් විහාරය කෘත්‍යාධිකාරී හිමියන්ගේ අනුශාසකත්වයෙන් හා විහාරස්ථානයට අනුබද්ධ විවිධ සමිති සංවිධානවල පුරෝගාමීත්වයෙන් නැවත ඉදිකිරීම ආරම්භ විය.

ප්‍රදේශයේ මෙන්ම රටේත් ආගමික ප්‍රබෝධයට තුඩුදෙන මෙම කාර්යය සාර්ථකව ඉටුකිරීමට හැකිවුයේ ආධාර උපකාරය නිසා බව සිහිපත් කළ යුතුය.

අවමංගල්‍ය හා ආගමික අවශ්‍යතාවන් සඳහා ටකරන් ආවරණ හා ප්ලාස්ටික් පුටු ආදිය නොමිලේ ප්‍රදේශවාසීන්ට සැපයීමේ අවමංගල්‍යාධාර සේවාවක් ද පන්සල මුල් කරගෙන පවතී. සතර පේරුවේ දායක කාරකාදීන්ට ඉන් සුවිශාල සේවාවක් සිදුවේ.

බාල තරුණ මහලු කාටත් විහාරස්ථානයෙන් සැලසෙන සේවාව ඉමහත්ය.

ධර්මරාජ යොවුන් පදනම මගින් ගමේ තරුණ තරුණියන් එක්වී පොදු ආගමික සාමාජික කටයුතු රාශියක් සිදු කරයි. අපතේ යන තරුණ ජවය ගමට රටට ආගමට ළුලදායී ලෙස යොදා ගැනීම අරමුණයි.

පන්සිල් සුරකින ගුණ යහපත් තරුණ පරපුරක් ඉන් ගමේ බිහිවී ඇත. අපේ ජාතික ඇඳුම ප්‍රතික්ෂේප කරන තරුණ තරුණියන් සිටින වර්තමානයේ මහර ධර්මරාජ පදනමේ තරුණ තරුණියෝ ජාතික ඇඳුමෙන් සැරසී සිටිති.

1974 දී ආරම්භ කර ඇති ශ්‍රී ධර්මරාජ දහම් පාසල පසු කිලීනව අභාවයට ගොස් තිබුණි.

මෑතකදී නව වැඩපිළීවෙළක් සහිතව නැවත ඇරඹී දහම් පාසල ලංකාවේ ඇති දහම් පාසල් අතර සුවිශේෂී වැඩපිළිවෙළක් සහිත දහම් පාසලකි.

ගුණයෙන් මෙන්ම ඥානයෙන්ද පිරිපුන් මනා පෞරුෂත්වයකින් හෙබි පරපුරක් නිර්මාණය කිරීම ධර්මරාජ දහම් පාසලේ පරමාර්ථයයි.

පෙරදිග තූර්යවාදක කණ්ඩායම, මාධ්‍ය ඒකකය, බැති ගී කණ්ඩායම ආදිය තුළිනුත් දක්ෂ ආචාර්ය මණ්ඩලයක මඟපෙන්වීම තුළිනුත් ධර්මරාජ සිසුවා ශික්ෂණය ලබයි.

දහම් පාසල සඳහා ගොඩනැගිලි පහසුකම්වල විශාල අඩුවක් පවතී. දහම් පාසල පැවැත්වෙන දිනවල සිසු දරුවනුත් ආචාර්ය මණ්ඩලයත් අව් වැසිවලින් පීඩාවිඳිති.

පස් මහල් ගොඩනැගිල්ල සඳහා සැලසුම් සකස්කර තිබුණත් ප්‍රතිපාදන සපයා ගැනීමේ අපහසුතාවය නිසා ඉදිකිරීම් ප්‍රමාද වෙමින් පවතී. ගුණ ගරුක අනාගත පරපුරක් බිහිකිරීමේ මහා සත්කාරයට දානපතීන්ගේ ආධාරය අපේක්ෂිතය.

පොත පතට ආදරය කරන දැනුම් පිපාසාවෙන් පෙළෙන ලොකු කුඩා හැමට දැනුම් සාගරයකි. ධර්මරාජ පුස්තකාලය පොත්පත් 4,000 කින් පමණ සමන්විතය. ලංකාවේ බොහෝ විහාරස්ථානවල පුස්තකාල ඉබි යතුරු දමා වසා ඇති යුගයේ ධර්මරාජ පුස්තකාලය සැමටම විවෘතව පැවතීම අගය කළ යුත්තකි.

ධර්මරාජ පදනම ප්‍රදේශයේ දානපතීන් කීපදෙනෙකුගෙන් යුක්තව පිහිටුවාගත් සමාජ සේවා සංවිධානයකි. මූලිකම කාර්යභාර්ය ඉගෙනීමට දක්ෂතා ඇති අඩු ආදායම්ලාභී දර්වන්ට අතහිත දීමයි.

දැනට අ.පො.ස. (සාපෙළ) සමත්ව උසස් පෙළ හදාරණ සිසු සිසුවියන් ගණනාවකට ආධාර කර ඇත.වර්තමානයේ දක්ෂ දරුවන් 12 දෙනෙකුට මසකට රු.1000 බැගින් ශිෂ්‍යාධාර පිරිනමයි.

2600 වැනි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය අනුස්මරණය කිරීම වස් පිහිටුවාගත් කුළඟන සමිතිය වර්තමාන විශාඛාවන් බඳු ගම් වාසි කුළ කාන්තාවන්ට ආගමට දහමට වැඩ කරන්නට පාරමිතා පුරන්නට මහඟු අවස්ථාවකි. දිනපතා බෝධි පූජා ධර්ම දේශනා ආදී ආගමික වැඩ සටහන් තුළින් බොදු මහජනය‍ාගේ අධ්‍යාත්මය පෝෂණය කරයි.

විශේෂයෙන් විහාරස්ථානයේ වැඩ සිටින ආන්නද බෝධි රාජයාණන් වහන්සේගේ ආශිර්වාදය ගම් වැසියෝ නිරන්තරයෙන් අපේක්ෂා කරති.

තම ලෝකෝත්තර ජිවිතයේ අනේකවිධ දුක්ඛ දෝමනස්සයන් සංසිඳවා ගැනීම උදෙසාත් ත්‍රිවිධරත්නයේ ගුණ සිහි කරගෙන ශ්‍රද්ධාවෙන් වැඳුම් පිඳුම්වල නිරත වේ. ඒ තුළින් විශාල ලෙස සහනය උදාකරගත් අය අපමණය.

ඉදිරියේදී මහර ශ්‍රී විවේකාරාමය නම් සුන්දර පුදබිම ආගමික වශයෙනුත් ජාතික හා අන්තර්ජාතික වශයෙනුත් ගොඩනැගිමට කටයුතු සිදුවෙමින් තිබේ.

දැනට සිදුවන ආගමික සාමාජික අධ්‍යාපනික මෙහෙවර පුළුල් කරන්නට කොළඹ නව කෝරළයේ හා නව තොටමුණේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය පරකඩුවේ සරණංකර ස්වාමිපාදයාණන් වහන්සේගේ අනුශාසනාපරිදි කෘතයාධිකාරි පූජ්‍ය මීගහතැන්නේ සංඝරක්ඛිත හිමියනුත් දායක සභාවත් කටයුතු කරමින් සිටිති.

සියලුම දුක් පීඩා දුරලන්නයි

සියලු සතුන් හට සෙත සලසන්නයි

සිතුම් පැතුම් සිතු ලෙස ඉටු වන්නයි

ඒ උතුම් බෝධිය වැඳුම් ලබන්නයි.