Spread the love

තථාගතයන් වහන්සේ මේ ලෝකයට දේශනා කළේ ලෝකයේ පවතින යථාර්ථයයි. එය අසුභ, කටුක, නීරස හිත් සතුටු නොකරන දෙයක් වුව ද ඇත්ත එය නම් අප ඊට මුහුණදිය යුතු ම ය. කටු සහිත ලඳු කැලෑවක ගමන් කිරීමේ දී ඊට අවශ්‍ය පාවහන් උපකරණ සපයා ගත යුතු වුවත් එය මනාව සූදානම් කරගත් කෙනෙකුට ගමන දුෂ්කර නොවේ. ජීවිතය ද එසේ ම ය.

අප සෑම විට ම විශ්වාසය තැබිය යුත්තේ තමන් පිළිබඳ ව ම ය. සෑම විටම කුරුල්ලකු විශ්වාසය තබන්නේ තමන් වහන අත්ත පිළිබඳ නොව අත්තටු දෙක ගැන ය.

තථාගතයන් වහන්සේ දේශනා කළ නිවන පවා මරණින් පසුව ලබන එකක් නොව මේ ජීවිත කාලයේ දී අත්විඳින තත්ත්වයකි. මැරිල කෙනෙක් නිවන් යන්නේ නැත. මේ යථාර්ථය ඉතා හොඳින් වර්තමාන තරුණ තරුණියන් තේරුම් ගත යුතු ව ඇත. එසේ නොවන විට ආගමේ නාමයෙන් පවා ජීවිතය විනාශ කර ගැනීම සහ විනාශ කිරීම සැපයකැයි ඔවුන් සිතීමට පටන් ගනී.

අජාන් චා හිමියන් වරක පැවසුවේ ගමන දුරයි හෙමින් යන්න, වශයෙනි. මන්දයත් වැරදුණහොත් ආපස්සට එන්න ලොකු කාලයක් නැති නිසාවෙනි. ජීවිතය පිළිබඳ අරමුණු හීන අප කාටත් තිබිය යුතු වේ. අවශ්‍ය වන්නේ ඊට ළඟාවීමට අතිශයින් කෙටි මාර්ග නැති බව හඳුනාගැනීම පමණි. ලෞකික ජීවිතය පමණක් නොව පාරලෞකික ජීවිතයේ ඇති අරමුණු ද එසේ ම ය.

ඉතා මෑතක අපට දැන ගැනීමට ලැබුණේ එක්තරා ආගමික ව්‍යාප්තවාදියකු සහ ඔහුගේ පවුලේ දරු පිරිස සියදිවි හානි කර ගැනීමයි. ඔහු අනුගමනය කළ තවත් පිරිසක් ද එසේ ජීවිතය අහිමි කර ගත්හ. ඒ අතර රුහුණු විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරමින් සිටි උගත් දියණියක් ද ඇයගේ දෙමවුපියන් ඇයට පින්දීමේ පින්කමක දී මා හමුවූ විට ප්‍රකාශ කළේ විස ශරීරගත කරගෙන ඇය මිය යාමට ආසන්න මොහොතේ පවා කිසිදු ඉරියව් වෙනසක් තමන් නොදුටු බවයි. මෙයින් අප තේරුම් ගත යුතු වන්නේ ලෝකයේ යථාර්ථය හඳුනා නොගත්විට බාහිර ඇතමකුට මරණය පවා ඉතා මිහිරි විමුක්තිය දිව්‍ය සහව්‍යතාවය ලද හැකි දෙයක් ලෙස හුවා දැක්වීම පහසු බවයි.

පාස්කු ප්‍රහාරය මෙහෙය වූ පිරිස මෙන් ම එහි ගොදුරු බවට පත් වූ තරුණ පිරිසට පවා ඔවුන් දක්වා තිබුණේ මෙවැන්නකි. පිරිස් ඝාතනය කිරීම මත දිව්‍ය ස්වභාවයන් අත්පත් වන බවයි. සාමාන්‍ය දැනුමක් ඇත්තකුට පවා තේරුම් යන සත්‍ය වන්නේ කෙනෙකු නසා තව කෙනෙකුට යහපතක් ලැබිය නොහැකි බවයි.

කොසොල් රජු තමන් දුටු සිහින නිසා යාග බිලි පූජා පැවැත්වීමට උත්සාහ කිරීමේ දී මල්ලිකාව විමසුවේ, රජතුමනි කෙනෙකුª නසා තවකෙනෙකු සුවපත් වූ බව ඔබ අසා ඇත්තේ ද යන්නයි. ඇයගේ ප්‍රඥාව නිසාම රජු එම විනාශයේ හවුල්කරුවකු නොවීමට වග බලා ගත්හ.

සාමාන්‍ය ජීවිතයේ දී පවා අප හැමෝට ම අරමුණු ඇත. විශේෂයෙන් තරුණ ප්‍රජාවට එය සුවිශේෂී වේ. මෙහිදී ආදායම් බෙදී යාමේ විෂමතාව, ඉච්ඡාභංගත්වය, ආතතිය, ආවේග, සිදුවන අසාධාරණකම්, පින් පව් විශ්වාස නොකිරීම මෙන්ම දුක්ඛ සංඥාවෙන් ගතයුතු බොහෝ දේ සුඛ සංඥාවෙන් ගැනීම ආදී හේතු මත ජීවිත විනාශයට පත්වේ.

විශේෂයෙන් බෞද්ධ පින්වතුන් ආමන්ත්‍රණය කිරීමේ දී අප නිරන්තර ව සඳහන් කරන්නේ වාසනාවන්ත පින්වතුන් යනුවෙනි. මෙහිදී වාසනාවන්ත ලෙස හඳුන්වන්නේ බුද්ධෝත්පාද කාලයක අංගසම්පූර්ණ මිනිස් ආත්මයක් ලැබීම නිසාවෙනි. මෙයින් අප තේරුම්ගත යුතු ප්‍රධාන කාරණය වන්නේ පිනට ලැබුණ ඇස්දෙක, කන්දෙක, කට, රූපය, දැනුම උගත් බව, බලය පවට නැඹුරු නොකළ යුතු යන්නයි.

ලෝකය දෙසට හැරීමේ දී මුළු ලොවක් ම කම්පා කළ සමූලඝාතන බොහෝ ය. ඒ අතර ශ්‍රී ලාංකික පවුලක් කැනඩාවේ දී ඝාතනය වීම අප සැවොම කම්පා කළ ඛේදවාචකයකි. මෙහිදී ඥාතීන්, මවුපියන් මෙන් ම පුරවැසියන් ලෙස මේ ගැන වඩාත් සැලකිලිමත් වීම, ඉතා වැදගත් වේ. ඔවුන් එම තත්ත්වයන්ට මුහුණදීමට එකම කාරණයක් ම ඉවහල් නොවේ. තමන්  බවට පත් නොවී අනවශ්‍ය තරගයන් සකසා ගැනීම මෙන්ම තම අරමුණ සහ සිතුම් පැතුම් අන්‍ය අරමුණු සිතුම් පැතුම් සමඟ ගැටීම ප්‍රධාන වේ.

මෙහිදී, ආවේග එනම් වේගයෙන් එන සිතුවිලි පාලනය කර ගැනීමට ඇති අපොහොසත් බව ඉවහල් වේ. අපේ අධ්‍යාපන ක්‍රමය තුළ ද මේ ඌනතාව දැකිය හැකි ය. විභාග සමත් ජීවිත අසමත් දරුවන් බිහිකිරීම වෙනුවට විභාග මෙන් ම ගුණ නුවණ වැඩිකිරීම වෙනුවෙන් වැඩි නැඹුරුවක් දැක්විය යුතු වේ.

කායික ව්‍යායාම මෙන් ම මානසික ව්‍යායාම අවශ්‍ය ය. මානසික හොඳම ව්‍යායාමය භාවනාවයි. එමෙන්ම ඩිජිටල් තිරය මත පවතින දෑ පිළිබඳ යථාර්ථවත් ව සිතන්න, සංවේදී ව කටයුතු කරන්න, අවශ්‍ය පුහුණුව ඉතාම කුඩා කල සිටම හුරු කිරීම වැදගත් වේ. රැවටීම, රැවටෙන්න පුළුවන් අවස්ථා පිළිබඳ පූර්ව දැනුවත් කිරීමත්, වඩා භයානකම තත්ත්වය තමා තමාට රැවටීම බවත් ඔවුනට අවධාරණය කළ යුතු ය. මන්දයත් තමන් දරන මතයම හරියැයි සිතන්නා තමා තමාට ම රැවටීමකි.

සෑම ක්‍රියාවකට ම ප්‍රතික්‍රියාවක් ඇත. හොඳ නම් විඳී. නරක නම් විඳවයි. මේ ගැන වර්තමාන පරපුරට පැහැදිලි කරදීම වැඩිහිටියන්ගේ පරම යුතුකමකි. පුනර්භවයක් ඇති බවත්,පොළොව ගිනි තියා අහසේ දෙවියන් නොසෙවිය යුතු බවත් සියල්ල හේතූන්ට අනුව ලැබෙන ඵලයක් බවත් ඔවුන්ට කියාදීම වැදගත් ය.

ඉතාම කුඩා කල සිට දරුවන් චාරිකාවලට යොමුකළ යුත්තේ සිත් සතුටු කරන පී‍්‍රතිවන තැන්වලට පමණක් නොවේ. අසරණ අය ගැවසෙන තැන්, ආබාධ සහිත අය ඉන්න තැන්, මානසික රෝගීන් සිටින තැන් විවිධ රෝගීන් ඉන්න තැන් ආදිය ඉතා වැදගත් වේ. එහිදී ද උපක්‍රමශීලී විය හැකි ය.

තමන්ගේ සහ දරුවන්ගේ උපන්දින සිහිපත් කිරීමේ දී එම මුදල් පෙර සඳහන් කළ අයගේ සුබසාධනය ඇති කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක කිරීම තුළින් දරුවන්ට ඒ කාරණා ගැන සිතන්න අවස්ථාව සැලසේ. ආහාර සමබලවීමේදී ශරීරය පිළිවෙළකට සැකසෙන්නා සේ අප ඉහත සාකච්ඡා කළ සියලු අංශයන් හි සමබරතාව සමාජ ජීවිතයේ දී පුද්ගලයා වඩා ඵලදායක කෙනකු බවට පත් කිරීමට හේතු වේ.

මඩිහේ මහනාහිමියන් පවා සඳහන් කළේ “මිනිසා හදා රට හදමු” යන්නයි. ආකල්ප වෙනස් වන තුරු දියුණුව හීනයකි. එහෙයින් දියුණුව මැනෙන නිර්ණායක අතර “සදාචාරය” ප්‍රධාන වේ. මේ මත ජීවිත වඩා සාර්ථක කර ගැනීමට අවකාශය සැලසේ.

කොළඹ මහානාම විද්‍යාලයේ ආචාර්ය කොලොන්නාව පුරාණ විහාරවාසී  සියඹලාගොඩ ධම්මින්ද හිමි

budusarana