රටේ ඇති විය හැකි බව කියන ආහාර අර්බුදයට විසඳුමක් ලෙස දිවයිනේ සියලු විහාරස්ථාන කේන්ද්‍ර කරගනිමින් වගා වැඩසටහනක් දියත් කර තිබෙන බව මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ පවසති. විහාරස්ථානවල වගා වැඩසටහන් ක්‍රියාත්මක කරන අතර විහාරාධිපති ස්වාමින්ද්‍රයන් වහන්සේලාගේ මූලිකත්වයෙන් ග්‍රාමීය වශයෙන්ද අදාළ වැඩපිළිවෙළ දියත් කිරීම සඳහා ජනතාව උනන්දු කිරීමට බලාපොරොත්තු වන්නේ යැයි ද උන්වහන්සේ පැවසූහ.
ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය සුරැකීම සඳහා වූ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ එකමුතුව (AMSA-SL) විසින් ඉදිරිපත් කරනු ලැබූ ශ්‍රී ලංකා කෘෂිකර්මාන්තයේ පුනර්ජීවනය සඳහා වූ නිර්දේශ ඇතුළත් යෝජනාවලිය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ භෝග අධ්‍යයන අංශයේ මහාචාර්ය බුද්ධි මාරඹේ, ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය සුරැකීම සඳහා වූ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ එකමුතුවේ සම්බන්ධීකාරක මහචාර්ය නලීනා රණතුංග යන මහත්ම මහත්මීන් ඇතුළු ආචාර්යවරුන්ගෙන් සමන්විත කණ්ඩායමක් විසින් පෙරේදා (04) මල්වතු පාර්ශ්වයේ මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නය වෙත පිළිගැන්වූ අවස්ථාවේ උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළහ.
ඉදිරියේදී ආහාර අර්බුදයක් ඇතිවන බවට කෘෂි ක්ෂේත්රය නියෝජනය කරන විද්වතුන් ප්‍රකාශ කරන බවත් මෙයට සාර්ථකව මුහුණ දීම සඳහා සියලු ජනතාව හැකි පමණින් වගා කටයුතුවලට යොමුවිය යුතුව තිබෙන බවත් මහනාහිමියෝ පැවසූහ.
තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමි
අසේල කුරුළුවංශ