බුද්ධාගම යනු හුදු දර්ශනයක් පමණක් නොව සංස්කෘතිය, ආගම, ජීවන ප්‍රතිපදා, සමාජ සංස්ථා සහිත ශිෂ්ටාචාරයකි. බුදුරජාණන් වහන්සේගේ කාලයේ භාරතයේ මරණ දඬුවම ක්‍රියාත්මක විය. එකල පැවැති ගණතන්ත්‍ර හා රාජාණ්ඩු යන රාජ්‍ය ක්‍රම සියල්ලේම මරණ දඬුවම ක්‍රියාත්මක වූ බවට සාක්ෂි ඇත. තමාට රාජ්‍ය පවරා දුන් මගධ අධිරාජයාව ඔහුගේ අජාසත්ත නම් පුතා විසින් දස වධ දී මරණයට පත් කළේය. සිය පියාගේ අධිරාජ්‍යය බලහත්කාරයෙන් කුමන්ත්‍රණ මගින් අල්ලා ගත් විදුදභ නම් පාලකයා කොසොල් මහා රාජධානියේ අධිරජු වූ කොසොල් රජුව අනාථ මරණයෙන් මරණයට පත් කිරීමට කටයුතු කළේය.
එකල තිබූ ඇතුන් පාගා මරණය, උල තිබීම ආදී මරණ දණ්ඩන රාජ්‍ය නීතිය යටතේ ක්‍රියාත්මක විය. රජවරු මේ මරණ දඬුවම් දුන්නේ රාජ්‍යයට හෝ ජනතාවට ඇති ආරක්ෂාවට නොවේ. තම දායක බිම්බිසාර රජුට වධ දී මරණයට පත් කළ පුතා හමු වී විරෝධය පෑමක් බුදුරජාණන් වහන්සේ නොකළහ. ශ්‍රාවකයෝද නොකළහ. කාමාධික රජකු වූ පසේනදී කෝසල රජු සස්වාමික රූමත් කාන්තාවක් දැක ඇය අත්පත් කර ගැනීම සඳහා ඇයගේ ස්වාමියා රාජ්යන සේවයට බඳවා ගෙන කළ නොහැකි රාජකාරියක් පැවරීය. මේ රජු එදින පසු දින තෙක් රාග ගින්නෙන් දැවෙමින් සිටියදී දුටු සිහිනයක් විග්රහ කර දී බුදුරජාණන් වහන්සේ ඒ අසරණයා මරණින් මුදවා ගත්හ.
බුදුරජාණන් වහන්සේ දේශනා කළ සියලූ සමාජ සංස්ථාවල ප්රභවය පිළිබඳ විග්රහ අතර ”රාජ්‍යය” ප්රභවය වූ ආකාරය දීඝ නිකායේ අග්ගඥ සූත්‍රයේ දැක්වෙයි. පාලකයා යනු සමාජ සම්මතයෙන්ම පත්කරගන්නා අයෙකි. ඔහුගේ කාර්යය සියලූ මිනිසුන්ගේ අයිතිවාසිකම් රැුකදීම හා සතුන්ට පවා ජීවත්වීමේ අයිතිය ලබා දීමයි. ”ධම්මේන පරේ රඥය තිතී රාජා” මේ පරේ යනු මිනිසුන් හා සතුන්ය. ඔහුට ජනතාව බදු ගෙවයි. මතු නොව ආරක්ෂාව පතා මුළු භූමියම පවරා දෙති. ක්ෂත්රීය වන්නේ එබැවිනි. ඒ හැර ක්ෂත්ර හෙවත් ආයුධයේ බලයද හිමි වෙයි.
ඔහුට අයිති කාර්යයන් අතර දඬුවම් දීම, සමාජයෙන් පන්නා දැමීම ආදිය වෙයි. ක්රමික සංවර්ධනය යටතේ හිරගෙවල් හා මරණ දඬුවම් ඇති විය. එය සමාජ විකාශනයක ප්‍රතිඵල මිස බුදුරජාණන් වහන්සේ පනවා වදාළ හෝ අනුමත කළ දෙයක් නොවේ. රටේ අපරාධ ඇති වන්නේ රජුගේ දුර්වලතාව නිසා යයි බුදුදහම පෙන්වා දෙයි. ආදර්ශමත්ම රජු වූ සක්විති රජුට පිරිය යුතු වත් දහයක් වෙයි. එයින් එකක් දිළිඳු මිනිසුන්ට ධනය දීමයි. එසේ නොවුහොත් අපරාධ ඇති වේ’ ”අධනානං ධනේ අනනුස්පදීය මානෙ දුලිද්දන් වේපුල්ල මගමාසි දුලිද්දන් වෙපුල්ලන් ගතේ අදින්නාදානා වේපුල්ල මගමාසි”
දිළිඳු බව නිසා සොරකම , බොරුව, කේලම, ආයුධ භාවිතය, පාතාල කල්ලි බිහි වීම, දුරාචාරය ඇතිව පැතිර යයි. ජනතාවට රජය දිය යුත්තේ සල්ලි නොව නිෂ්පාදන සාධකයි. ඉඩම්, පොහොර, ජලය, ස්වයං රැුකියා සඳහා ආධාර, ප්රාග්ධනය ආදිය බව දීඝනිකායේ කූටදන්ත සූත්‍රයේ පෙන්වා දෙයි. අපරාධවලට එකම හේතුව දුප්පත් කම පමණක්ම නොවේ. නොවැඩු මිනිස් සිත අතෘප්තිමත්ය. එහි තරගය අනුමත කරයි. කෙනෙකුට මේ අතෘප්තිය නිසා නොවැඩුණු මනසින් වඩනා නිසරු ප්‍රාර්ථනා හා තරග ජයග්‍රහණයට කෙතරම් ධනය තිබුණත් මදිය. ” අතිත්තන්යෙව කාමේසු අන්තකෝ කුරුතේ වසං”
කාමයෙන් අතෘප්තිමත් වන මිනිසා මාර වසඟයට යයි. කහවනු වර්ෂා වැස්සත් තෘප්තියේ කෙළවරක් නැත. මේ නොවැඩුණු මිනිස්සු අද පාතාලයේ රජ කරති. සිරගෙදර දඬුවම් විඳින නමුත් සැප සහිත ජීවිත ගත කරති.
පසුගිය දිනවල මාධ්‍ය ප්‍රකාශ මගින් බෞද්ධ
භික්ෂුන් වහන්සේලා එල්ලූම් ගස ක්‍රියාත්මක කිරීම, අනුමත කළ බව කියවිණි. මේ ප්‍රකාශය භාෂාව තේරුම් ගැනීමේ නොදැනුම හෝ කනේ ආබාධයක් නිසා වූ හෝ රාජ්‍යයේ වගකිව යුත්තෙක් මාධ්‍යයට කළ ප්‍රකාශයකි. බෞද්ධ භික්ෂුවක් ඕනෑම අපරාධකරුකු වුවද මරා දැමිය යුතු යැයි කියන්නේද ඒ මොහොතේම භික්ෂුවගේ මහනකම නැති වී යයි. ප්‍රභාකරන්ව මරණයට පත් කළ අවස්ථාවේ මේ රටේ මිනිස්සු කිරිබත් කෑහ. එය නීත්‍යනුකූලව කළ ඝාතනයකි. යුද්ධ නීතියේ ස්වභාවයයි. එසේ නොවුණා නම් හොඳ යයි ජාති, දේශ හිතෛෂී කිසිවකු නොසිතූහ. එහෙත් ඒ මරණයෙන් තෘප්තිමත්ව කිසිදු භික්ෂුවක් කිරිබත් නොවැළඳවූහ.
බෝසත් ගුත්තිලට එරෙහි වූ ශිෂ්‍ය මූසිල මහජනතාව නීතිවිරෝධීව මරණයට පත් කළ අවස්ථාව විග්රහ කළ වෑත්තැවේ හාමුදුරුවෝ ප්‍රකාශ කළේ ”අහෝ දෙවුදත් නොදිටි මොක් පුර” යන සංවේදී ප්‍රකාශයයි. ඕනෑම අපරාධකාරයෙක්ගෙන් සමාජය බේරා ගැනීමට රජයට ඇති අයිතිය පිළිගත් නීතිය කී්රයාත්මක කිරීමයි. බුදුරජාණන් වහන්සේ දසරාජ ධර්ම, සක්විතිවත්වලින් රජුගේ ස්වභාවය විය යුත්තේ කෙසේද යන්න විග්රහ කළහ. උන්වහන්සේ භික්ෂූන්ට දේශනා කළේ ”අනුජානාමි භික්ඛවේ රාජානං අනුවක්කතුන් (රජවරුන්ට රාජ්‍ය නීතියට අනුවර්තනය වන්නැයි මම අනුදනිමි) කියයි” උන්වහන්සේ යුද හමුදා විසුරුවන්නයි කිසිදු රාජ්‍යයකට දැනුම් නොදුන් අතර සක්විති රාජ්‍යයේද බලවත් හමුදාවක් ඇති බව පැවසූහ.
කුමණාකාරයෙන් බැලූවද රාජ්‍ය යනු ආයුධ බලය ලබන (ක්ෂත්) සමාජයේ ප්‍රබලම සමාජ සංස්ථාවයි. භික්ෂූ සංඝ සමාජය යනු නිරායුධ හෙවත් කරුණාව, මෛත්‍රිය, ප්රඥව, , දයාව යන බුද්ධිමය ආයුදවලින් පමණක් සන්නද්ධ සමාජ සංස්ථාවකි. රජවරුන්ට රාජ්‍යය බලය යොදා මෙම සමාජ සංස්ථා විනාශ කළ හැකිය. බෞද්ධ ඉතිහාසය යනු ධර්ම ප්රචාරණයේ පමණක් නොව රාජ්‍ය හා රාජ්‍යනොවන බලවතුන්ගේ පීඩාවට පත් ශාසනයේද ඉතිහාසයයි. සර්වඥයාණන් වහන්සේ මෙය දැක මේ ප්‍රකාශය වදාළහ. තමා ජීවමාන කාලයේ පැවැති මනුෂ්‍ය ඝාතන සහිත යුද්ධයේ බිහිසුණ කමම තමන්ව ගිහි ජීවිතයෙන් අත්හරවූ බව උන්වහන්සේ සුත්ත නිපාතයේ අත්තදණ්ඩ සූත්‍රයේදී වදාළහ.
එල්ලූම් ගස සම්බන්ධ භික්ෂූන්ගේ මතය වන්නේ රජය නීතිය ක්රිත්මක කළ යුත් බවයි. එ් ගැන භික්ෂුන්ගෙන් විමසීම වුව අදාළ නොවන්නකි. රටේ නීතිය එකිනෙකාට එක එක විධියට ක්‍රියාත්මක වන්නේ යැයි ජනමතයක් රටේ පවතී. එල්ලූම් ගස නොමැතිව අපරාධ මැඩිය නොහැකි නම් එය ක්‍රියාත්මක කිරීම රජයේ වගකීමයි. එහෙත් වඩාත් හොඳ ප්‍රතිපත්තිය නම් ජනතාව බුධිමත් කිරීම සඳහා රටේ පවතින ආගම් මුල්කරගෙන සදාචාර ධර්ම ව්‍යාපෘතියක් කර ආදර්ශවත් පාලකවරුන්, ආදර්ශමත් නිලධාරීන්, ආදර්ශමත් පුරවැසියන් බිහිකිරීමයි. ඒ ලේඛනයට පැවිදි පක්ෂයද අයත් විය යුතු වේ.
ශාස්ත්‍රපති වාද්දුවේ ධම්මවංශ නාහිමි
-----------------------------------------------------------------------