topone

silmatha-kaiw

apiයහපත් ජීවිතයක් උදෙසා ළං කරගත යුතු, ඇසුරු කළ යුතු කවුරුන් දැ යි මෙයින් පැහැදිලි කැරේ.

ඔබේ ජීවිතයේ විටෙක තනි වන්නට සිතුණු අවස්ථා නැති ද? ඇසුරට ගැළපෙන කෙනකු නැති විට, තමන් තේරුම් ගැනීමට තරම් කෙනකු නැති විට පිරිසක් මැද වුව ද සිතින් තනි වන, හුදෙකලා වන අවස්ථා කොතෙක් ද? එකට කමින්, බොමින්, විනෝද වෙමින් කාලය ගත කරන මිතුරන් කොතෙකුත් සිටිය ද ජීවිතයේ තමන් අවබෝධ කරගත යුතු මොහොතක තමන් අවබෝධ නොකරගන්නෝ ම කොතරම් ද?

එකට පෑහෙනුයේ සමාන අදහස් සමාන සිතුම් පැතුම් ඇති අය ම ය. ඔබට කෙනකු හඳුනාගැනීමට අපහසු ම නම් ඒ තැනැත්තා සමීප ව ම ඇසුරු කරන අය නිරීක්‍ෂණය කරන්න; ඒ තැනැත්තා ඇසුරු කරගන්නන් සමඟ පවත්වන සබඳතා කෙබඳු දැ යි හොඳින් විමසන්න. එවිට ඔබ හඳුනාගැනීමට අපොහොසත් වූ පුද්ගලයා කෙබන්දෙක් ද? යන්න පැහැදිලි වේ. පාතාලයේ මැරයකු හිමාලයේ සාධුවරයකු හමු වන්නේ කුමට ද, තවත් මැරයකු ම හමු වනු විනා.

මේ තත්ත්වය ඉතා හොඳින් පැහැදිලි වන පුවතක් ධාතුසංයුත්තයෙන් හමු වේ. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි ගිජුකුළු පවුවෙහි වැඩ විසූ සේක. එකල්හි සැරියුත්, මහමුගලන්, මහාකාශ්‍යප, අනුරුද්ධ, උපාලි වැනි තෙරවරු ද දේවදත්තයෝ ද වෙන වෙන ම බොහෝ භික්‍ෂූන් සමඟ භාග්‍යවතුන් වහන්සේට නුදුරෙහි සක්මන් කරති. භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක:

“මහණෙනි, ඔබ බොහෝ භික්‍ෂූන් සමඟ සක්මන් කරන සැරියුත් දකිවු ද?”

“එසේ ය, ස්වාමීනි.”

“මහණෙනි, මේ භික්‍ෂූහු සියලු දෙනා මහාප්‍රඥාවන්තයෝ ය. මහණෙනි, ඔබ බොහෝ භික්‍ෂූන් සමඟ සක්මන් කරන මුගලන් දකිවු ද?”

“එසේ ය, ස්වාමීනි.”

“මහණෙනි, මේ භික්‍ෂූහු සියලු දෙන මහා ඍද්ධි ඇත්තෝ ය. මහණෙනි, ඔබ බොහෝ භික්‍ෂූන් සමඟ සක්මන් කරන කාශ්‍යප දකිවු ද?”

“එසේ ය, ස්වාමීනි.”

“මහණෙනි, මේ භික්‍ෂූහු සියලු දෙන ධූතවාදීහු ය. මහණෙනි, ඔබ බොහෝ භික්‍ෂූන් සමඟ සක්මන් කරන අනුරුද්ධ දකිවු ද?”

“එසේ ය, ස්වාමීනි.”

“මහණෙනි, මේ භික්‍ෂූහු සියලු දෙන දිවැස් ඇති අය යි.”

බලන්න, මෙහි සැරියුත් හිමියෝ මහාප්‍රඥාවන්ත භික්‍ෂූන් අතර ද මහමුගලන් හිමියෝ ඍද්ධි ඇති භික්‍ෂූන් අතර ද මහාකාශ්‍යප හිමියෝ ධූතවාදි භික්‍ෂූන් අතර ද අනුරුද්ධ හිමියෝ දිවැස් ඇති භික්‍ෂූන් අතර ද අග්‍ර වෙති. ඒ ඒ භික්‍ෂූන් සමඟ සක්මන් කරන්නෝ ඒ ඒ ලක්‍ෂණ ඇති භික්‍ෂූහු ම වෙති. බලනු මැන, සුදුසු තැනැත්තා සුදුසු තැනට පෑහුණු හැටි. මෙලෙස ඒ ඒ භික්‍ෂූන් ගැන සඳහන් කරන භාග්‍යවතුන් වහන්සේ අනතුරු ව මෙසේ වදාළහ:

“මහණෙනි, ඔබ බොහෝ භික්‍ෂූන් සමඟ සක්මන් කරන දේවදත්ත දකිවු ද?”

“එසේ ය, ස්වාමීනි.”

“මහණෙනි, මේ භික්‍ෂූහු සියලු දෙනා පාපි ආශා ඇති අය ය.

“මහණෙනි, සත්ත්වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙති; එකතු වෙති. ලාමක අදහස් ඇති අය ලාමක අදහස් ඇති අය සමඟ සැසැඳෙති; එකතු වෙති. යහපත් අදහස් ඇති අය යහපත් අදහස් ඇති අය සමඟ සැසැඳෙති; එකතු වෙති.

“මහණෙනි, අතීතයෙහිත්... මහණෙනි, මතුවටත්... මහණෙනි, දැනුත් අදහස් වශයෙන් ම සත්ත්වයෝ සැසැඳෙති; එකතු වෙති...” (චඞ්කම සූත්‍රය).

මෙම තත්ත්වයට භාග්‍යවතුන් වහන්සේ සුන්දර උපමාවක් පෙන්වා දුන් සේක.

ඒ මෙසේ ය:

“මහණෙනි, යම් සේ අශූචි අශූචි සමඟ සැසඳේ ද, එකතු වේ ද; මූත්‍ර මූත්‍ර සමඟ සැසඳේ ද, එකතු වේ ද; කෙළ කෙළ සමඟ සැසඳේ ද, එකතු වේ ද;... (එසේ ම) ලාමක අදහස් ඇති අය ලාමක අදහස් ඇති අය සමඟ සැසැඳෙති; එකතු වෙති...

“මහණෙනි, යම් සේ කිරි කිරි සමඟ සැසැඳේ ද, එකතු වේ ද; තෙල් තෙල් සමඟ සැසැඳේ ද, එකතු වේ ද; ගිතෙල් ගිතෙල් සමඟ සැසඳේ ද, එකතු වේ ද;... (එසේ ම) යහපත් අදහස් ඇති අය යහපත් අදහස් ඇති අය සමඟ සැසැඳෙති, එකතු වෙති.” (සගාථ සූත්‍රය).

එකට ගැළපෙන අදහස් ඇති අය සමඟ ම ගැළපීම ලොව ඇති පුදුමාකාර ලක්‍ෂණයකි. මේ තත්ත්වය අස්සද්ධ සූත්‍රයෙන් තවදුරටත් පැහැදිලි වේ. එහිදී පෙන්වා දෙන ආකාරයට ශ්‍රද්ධාව නැති අය එකතු වන්නේ ශ්‍රද්ධාව නැති අය සමඟ ය. ලජ්ජා නැති අය එකතු වන්නේ ලජ්ජා නැති අය සමඟ ය. සිහි මුළා වූ අය එකතු වන්නේ සිහි මුළා වූවන් සමඟ ය. නූගත්තු එකතු වන්නේ නූගතුන් සමඟ ය. එසේ ම අනෙක් අතට ශ්‍රද්ධාව ඇති අය එකතු වන්නේ ශ්‍රද්ධාව ඇති අය සමඟ ය. ලජ්ජා ඇති අය එකතු වන්නේ ලජ්ජා ඇති අය සමඟ ය. එළඹ සිටි සිහි ඇති අය එකතු වන්නේ එළඹ සිටි සිහි ඇති අය සමඟ ය. උගතුන් එකතු වන්නේ උගත්තු සමඟ ය. මෙම කරුණ කොතරම් නම් සත්‍යය ද යන වග සමාජය දෙස සුපරීක්‍ෂාකාරි ව බලන ඔබට පැහැදිලි වනු ඇත.

ලොව පවතින මේ තත්ත්වය නිසා දුර්වල පුහුදුන් තැනැත්තාට සිදු වන්නේ කොතරම් අලාභයක් ද?

බලන්න කෝකාලික භික්‍ෂුව. හෙතෙම පාපි ආශා ඇති, නොමගට යොමු වූවෙකි. ඔහු ඇසුරු කළේ ද දේවදත්ත වැනි පවිටු ආශා ඇති අය යි. වරෙක ඔහු බුදු රජාණන් වහන්සේ වෙත ගොස් මෙසේ කියා සිටියි:

“ස්වාමීනි, සැරියුත් මුගලන් ලාමක ආශා ඇති ලාමක ආශාවන්ගේ වශයට ගිය අය යි.”

මෙසේ කී විට බුදුන් වහන්සේ එසේ නොපවසන ලෙසට තෙවරක් ම අවවාද කළ ද ළිඳේ හුන් මැඩියා මෙන් කෝකාලික භික්‍ෂුවට ද අවට හාත්පස සත්‍යය වටහාගත නොහැකි විය. ආර්ය වූ මහා උතුමන්ට නින්දා කළ පාපයෙන් දරුණු ආබාධයක් හටගත් කෝකාලික භික්‍ෂුව මරණින් පසු ව පදුම නිරයේ උපත ලැබුවේ ය. භික්‍ෂූන් වශයෙන් එක ම සංස්ථාවකට අයත් වූවත් බාල පුද්ගලයාට උරුම වූ තත්ත්වයක තරම යි ඒ. එවැන්නන්ට පහත ගාථාව හොඳින් ගැළපේ:

“යාවජීවම්පි චේ බාලෝ
පණ්ඩිතං පයිරුපාසති
න සෝ ධම්මං විජානාති
දබ්බී සූපරසං යථා.”

“අනුවණ පුද්ගලයා ජීවිතය ඇති තාක් නුවණ ඇති අය ඇසුරු කෙරේ ද, එහෙත් ඒ තැනැත්තා ධර්මය නො දැනගන්නේ ය. එය හැන්ද සූපව්‍යංජන රස නොදැනගන්නාක් මෙනි.” (ධම්මපද, බාලවර්ගය).

සිතුල්පව් විහාරයේ වැඩවිසූ රහතන් වහන්සේ නමකට එක් බුඩ්ඪපබ්බජිත (වයසට ගොස් පැවිදි වූවෙක්) භික්‍ෂුවක් උපස්ථාන කරමින් සිටියේ ය. දිනක් එම භික්‍ෂුව තෙරුන් සමඟ පිණ්ඩපාතය සඳහා හැසිර තෙරුන්ගේ පාත්‍ර සිවුරු ගෙන තෙරුන් පිටුපසින් පැමිණෙමින්, “ස්වාමීනි, ආර්ය අය නම් කෙබඳු වේ ද?” යනුවෙන් විමසුවේ ය. එවිට තෙරණුවෝ, “ඇවැත්නි, ඇතැම් මහල්ලෙක් ආර්යයන්ගේ වත්පිළිවෙත් කරමින් පාත්‍ර සිවුරු රැගෙන එකට හැසිරුණ ද ආර්යයන් නො හැඳීනගන්නේ ය. ආර්යයන් හඳුනාගැනීම දුෂ්කර ය,” යනුවෙන් පැවසූ හ. රහතන් වහන්සේ මෙසේ වදාළ නමුත් ඒ මහලු භික්‍ෂුව තෙරුන්ගේ ආර්ය භාවය නොවටහාගත්තේ ය. (ධම්මසඞ්ගණි අටුවාව).

මෙවැනි තත්ත්වයක් මත ඔබට ඔබ ගැන ම සිතීමට කාලය උදා වී තිබේ. බුදුදහම හරිහැටි නොවටහාගැනීම හේතුවෙන් සිදු වන අලාභය වටහාගත යුතු ය. සත්‍යය කුමක් දැ යි තේරුම් ගෙන, තමා යහපත්, නිවැරැදි අයකු වූ විට යහපත් නිවැරැදි අන්‍යයන් වටහාගත හැකි ය; හඳුනාගත හැකි ය; රෑ වැටුණු වළේ දවල් ද නොවැටෙමින් ඉදිරියට ගමන් කළ හැකි ය. ඇතැම් කෙනකුට මෙසේ කරුණු කීව ද “ඒ අය ඇසුරට නුසුදුසු බව මා හොඳින් දන්නවා.

එහෙත් සමාජයේ ජීවත් වන විට ඒ අයත් ඇසුරු නොකර කොහොම ද?” යනුවෙන් පවසමින් ඇසුරට මඳක්වත් නුසුදුසු අය සමඟ - සබඳකම් පවත්වයි. ඇසුරට ගොස් පසු ව ඔවුන්ගේ ඇසුරෙන් මුසපත් වන හෙතෙම ඒ බාලයන් හා විශේෂ ඇසුරට පත් වේ. අවසානයේ තමා නොදැනුවත් ව ම පිරිහීමට පත් වේ. “තමා කොතෙක් දන්නවා යැ” යි පවසමින් වුව බාලයන්ගේ ඇසුරට ලක් වන්නේත් බාලයෙක් ම ය. එබැවින් අප නිතර ම තමා තුළ පවත්නා දුර්ගුණ, අඩුපාඩු පිළිබඳ ව ප්‍රත්‍යවේක්‍ෂා කොට බැලිය යුතු ය; ඒ තුළින් තමාගේ බාල තැන් හඳුනාගෙන නිවැරැදි විය යුතු ය.

එවිට යහපත් වූ අන් අය ඇසුරු කිරීමටත්, ඒ උතුමන් ඇසුරෙන් දියුණුවට පත් වීමටත් හැකි වේ. කෙනකුට තමන් තමන් ම ද අන් අය ද හඳුනාගැනීමට තරම් ඍජු ශක්තියක් නැත. බුදුදහම අවශ්‍ය වන්නේ එබඳු තැනට ය. සර්වඥතා ඥානයෙන් දැක දේශනා කළ පිරිසිදු ධර්මයේ උපකාරිත්වය ගැනීම එයට පිහිට පිණිස පවතී. ඇසුරට සුදුස්සකු නැති නම් තනි ව විසිය යුතු ය. නුවණැත්තා එය වටහාගනියි.

“චරඤ්චේ නාධිගච්ඡෙය්‍ය
සෙය්‍යං සදිසමත්තනෝ
එකචරියං දළ්හං කයිරා
නÀථි බාලේ සහායතා.”

“ශීල සමාධි ප්‍රඥා ගුණයෙන් තමාට වඩා උතුම් අයකු හෝ තමා හා සමාන වූ අයකු හෝ සොයන පුද්ගලයා එවැනි අයකු නොලබන්නේ නම් හුදෙකලා ව වාසය කිරීම දැඩි කරන්නේ ය. (එහෙත්) අනුවණ තැනැත්තා කෙරෙහි මිතුරු බවක් නැත.” (ධම්මපද, බාලවර්ගය).

අපට දැන් අවශ්‍ය වන්නේ යහපත ය; දියුණුව ය. එසේ නම් අයහපත්, පරිහානියට හේතු වන බාලයන් දුරින් ම දුරු කිරීමට උත්සාහ කරමු. සත්පුරුෂ පණ්ඩිතයන් ම ඇසුරු කිරීමට වෑයම් කරමු. එවැන්නන් හඳුනාගැනීමට මෙසේ කටයුතු කරමු. එනම්: අප මේ වන විට වැරැදි යැ යි යමක් පිළිබඳ ව දහම මගින් දැන සිටිමු. එය දුරින් ම දුරු කොට, දන්නා හොඳ දේ හොඳින් ම අනුගමනය කරමින් තවත් හොඳ දෑ දහම මගින් ම දැන, ඒ අනුව දිවි පෙවෙත සකසාගනිමු. අප නිවැරැදි වූ විට ඇසුරු කළ යුතු නිවැරැදි උතුමන් අපට ම වැටැහෙනු ඇත. නිවැරැදි, පිරිසිදු දෑ ම සොයන පුද්ගලයාට නිවැරැදි, පිරිසිදු උතුමන් හමු වීම ස්වාභාවික ය. එය වැඩි වෙහෙසකින් තොර ව ම නිරායාසයෙන් ම සිදු වන්නකි. එවිට ඔබට භාග්‍යයේ දොරටුව විවර කරගත හැකි වනු ඇත. පහත ගාථාවේ අර්ථය අද ම ඔබට සම්බන්ධ වූවක් ම කරගන්න.

“මුහුත්තම්පි චේ විඤ්ඤා
පණ්ඩිතං පයිරුපාසති
ඛිප්පං ධම්මං විජානාති
ජිව්හා සූපරසං යථා.”

“සූපව්‍යංජනයෙහි රස දැනගන්නා දිව මෙන් නුවණැත්තා මොහොතක් නමුත් බුදුරදුන් ආදි ප්‍රඥාව ඇත්තත් ඇසුරු කරයි ද, වහා ධර්මය දැනගනියි.” ද

(මජ්ඣිමපණ්ණාසකය, ධාතුසංයුත්තය, ධම්මපදය, සුත්තනිපාතය, ධම්මඞ්ගණි අටුවාව ඇසුරු කැරිණි).

හසන්ත වාසනා සමරසිංහ


Share

පාරමිතා පූජාව - 2019

Mahabodhi Temple

කිංසීද සූත්‍රය

2015 වෙසක් තොරණ

47වන වරටත් ඉදිකළ - මහර තොරණ

 

Read more >>

යුගාසන කවි බණ 01

යුගාසන කවි බණ 02

-----------------------------------------------------------------------

වර්තමාන විහාරාධීපති

About Sriviwekaramaya

click here

Paritta

Paritta-01

Paritta-02

Paritta-03

Email Us :-

email

ගෞතම බුදුරජාණන් වහන්සේ

siddartha-kumaru
mul-jiwithaya-ha-vivahaya
buddathwayata-pathweema
gawthama-budurajanan-wahans
darma-pacharana-charika
sanga-samajaya-athiwima
lowata-sri-sddaramaya-pahal

bududhama
bududahame-ithihasaya
samma-sambuduwarun
niwana
thripitaka-ithihasaya
prathamadarma-sangayanawa
dewana-sangayanawa
thewana-sangayanawa
chathurarya-sathya
dukka-sathya
samudaya-sathya
niroda-sathya
dukka-niroda-gamini-patipad
therawada-bududhama
mahayana-bududhama
gihi-saha-pavidi-jiwithaya

anapanasathi-bawanawa

yoga-darshanaya

pasaloswaka-pohoya-dolaha-f

ශ්‍රී දළදා මාලිගාව

dalada-maligawa

රත්නමාලී යන්ත්‍රය

rathnamali-yanthraya

ata-wisi-bodi-puja

bodi-wandana-kawi

කලා ශිල්ප

srilankawe-kala-silpa
katayam-kalawa
athdath-katayam
isuru-muniya-katayam
wahalkada-katayam
korawak-gala-katayam
muragala-katayam
sadakada-pahana-katayam
ambakke-katayam

දහම් කරුණු

sathpurusa-ha-asathpurusa-p
sugathiya-ha-dugathiya
budunwahansege-iganweem
pranagathya-yanu-ha-in-midi
karmaya-ha-punarbawaya
alpechchathawaya
satharawaram-dewa-sankalpay
bawdha-chithra-kalawa
bawdha-darmaya-ha-chanithan
bududhama-ha-samaja-sankalp
bududhama-ha-samajaya
bududhama-ha-vivaha-jiwitha
nikaya-bedaya-ha-rajya-pala
barathiya-bawdha-padiwaru
sathara-sangra-wasthu
asu-maha-sawakayan-wahansel
biksu-sasanaya

කාව්‍ය ග්‍රන්ථ

subasithaya yasodarawatha

lowada-sagarawa

මෙම  කාව්‍ය ග්‍රන්ථ කියවන ඔබ සැමටත්  උතුම් වූ ශ්‍රී සද්ධර්මය  අවබෝධ වෙවා!......

ip address tracker software