topone

silmatha-kaiw

බාමියන් වනාහි එසමයෙහි නාලන්දා, අජන්තා, එල්ලෝරා සහ ඕදන්තපුරී සමාන කීර්තිමත් සාංස්කෘතික තෝතැන්නකි. නටබුන් නිසි පරිදි ගොඩ ගෙන අධ්‍යයනය කළ කල්හි එහි ග්‍රීක - බෞද්ධ සංස්කෘතියේ සංවර්ධනය පිළිබඳ දැවැන්ත ආලෝක ධාරාවක් විහිදුවනු දකිනු හැකි ය. එවිට නිසැකයෙන් ම අපේ අත්‍යන්තයෙන් ජටාජටික ගැටලු සහ ප්‍රහේලිකා වලට ඇතැම් විසඳුම ලැබෙනු ඇත.

ඇෆ්ඝනිස්ථානයේ හදවතේ පිහිටි බාමියන් පර්වතයේ කැටයම් කර ඇති යෝධ බුද්ධ ප්‍රතිමා, සංඝාරාම සහ ස්තූප මෙතෙකුත් ලෝකයේ හැම දිසාවකින් ම එන විද්වතුන් සහ සංචාරකයන් තුළ ආනන්ද ජනක චමත්කාරය දැනවීමට නිමිත්තක්ව තිබේ.

උතුර සහ දකුණත්, නැඟෙනහිර හා බටහිරත් අතර හරස් පාරවල් කැපෙන ආසියාවේ මධ්‍ය ලක්ෂ්‍යයේ පිහිටි ඇෆ්ඝනිස්ථානය ගෙවී ගිය කාල වකවානු වලදී නිරායාසයෙන්ම ආර්ය (බැක්ට්‍රියානු හෝ සෘග් වෛදික) ඇති මේනියන්, ග්‍රීක්, කුෂාන් සහ බෞද්ධ ආදී නන්විධ ශිෂ්ටාචාරයන් සහ විවිධ ජාතීන් මුණගැසීමේ භූමි ප්‍රදේශයක් බවට පත්වූයේය.

එහි ප්‍රතිඵලය වූයේ එමඟින් සංකර හෙවත් බහුමුහුන් සංස්කෘතියක් බිහිවීම යි. එය කලාව පිළිබඳ එකකට එකක් වෙනස් සම්පුදායයන්ගේ මිශ්‍රණයෙන් බිහිවූ ප්‍රකාශන මාධ්‍යයක ආරම්භයට මඟ පෑදූ බව පෙනේ. එහිදී නිසැකයෙන් ම විදේශීය තාක්ෂණික ක්‍රම ණයට ගෙන යොදා ගන්නා ලදී. එහෙත් එසේ කැරුණේ ප්‍රාදේශික අවශ්‍යතා වලට අනුකූ®ලවන පරිදි සංස්කරණයක් හා නව නිමාවකින් හැඩ ගන්වමිනි.

ග්‍රීක සංස්කෘතිය ක්‍රි. පූ. හතර වැනි සියවසේදී බැක්ට්‍රියානු කලාවෙන් ආභාසයක් ලැබීය. එයට මඟ පෑදුණේ, එය විශාල මැසිඩෝනියානු අධිරාජ්‍යයේ කොටසක් බවට පත් වීමෙනුත්, ග්‍රීක සංස්කෘතිය හා දර්ශනය සමඟ සෘජු සබඳතාවක් ඇති කර ගැනීමෙනුත් ය.

ක්‍රි. පූ. තුන්වැනි සියවසේ මැද හරියේ අශෝක අධිරාජ සමයේ බුදුදහම ඉන්දියාවේ මුල් බැස ගත්තේ ය. ඒ අතර ඇෆ්ඝනිස්ථානය තුළ ග්‍රීක යථාර්ථවාදය, ඉන්දියානු ගුඪවාදය සමඟ අන්තර් මිශ්‍රණයකට බඳුන් විය. එය ඉතිහාසඥයන් සහ ඉන්දියානු භාෂා ශාස්ත්‍ර හා කලා විශාරදයන් විසින් ගන්ධාර සම්ප්‍රදාය ලෙස හඳුන්වා දෙන ලද ක්‍රම වේදයට ආරම්භයක්වූ බව පෙනේ. වඩාත් සුදුසු ලෙස කියතොත් එය ගන්ධාරීය ග්‍රීක - බෞද්ධ සම්ප්‍රදායය යි. නිසැකයෙන් ම එහි කෙන්ද්‍රස්ථානය වූයේ නූතන ජලාල්බාද් වලින් සැතපුම් හයක් දුරින් වූ භද්දා ය. එය බුදුන් දවස නන්ගහාර නම් විය.

ක්‍රි. ව. දෙවැනි සියවසේ කනිෂ්ක බලයට පත් කල්හි ඇෆ්ඝනිස්ථානය බුදුදහමට විශිෂ්ට කෙම්බිමක් විය. බුදුදහම සින්කියෑං, චීනය හා මොන්ගෝලියාවට ව්‍යාප්ත වූයේ එතැන් සිට යි. කනිෂ්ක ද අශෝක මෙන් බුදුදහම වැලඳගෙන, වේගයෙන් ශ්‍රේෂ්ඨ ලෝක ආගමක් බවට පත් වෙමින් තිබුණු එහි සක්‍රීය සහ නොමසුරු අනුශාසකයකු බවට පත් වූයේ ය. විය හැකි පරිදි, ක්‍රි. ව. 120 – 160 තෙක් පැවති ඔහුගේ දීර්ඝ පාලන සමයේ බෞද්ධ කලාව හා ආගම අධිරාජ්‍යය පුරා ඈතින් ඈතට ව්‍යාප්ත වෙමින් මල්පල ගැන්විණ.

එසමයෙහි ගන්ධාර හෝ ග්‍රීක - බෞද්ධ සම්ප්‍රදාය නමින් හැඳින්වුණු කීර්තිමත් කැටයම් කලා සම්පදාය විශිෂ්ට ප්‍රගතියක් අත් කර ගත්තේ ය. මේ නව සම්ප්‍රදායේ අත්‍යන්තයෙන් වැදගත් වෙනස වූයේ බුදුදහමේ නිර්මාතෘන්ගේ දේවත්වාරෝපිත පිළිමය ආගමික පුද පූජාව විෂයෙහි මෙවලමක් බවට පත්වීමයි.

මූලාරම්භක විසින් ම බුදුදහම ව්‍යවහාරික ආගමක් පමණක් නොව ජීවන දර්ශනයක් සහ සදාචාර ධර්ම සංහිතාවක් ද විය. බුද්ධ හෙවත් සර්වඥයන් වහන්සේ දෙවියකු බඳු පමණක් නොව අසීම සුඛාස්වාදය සහ උග්‍ර තාපස ව්‍රතය යන දෙකින් ම මිදී, ඒ දෙක අතර මැදුම් පිළිවෙත අනුගමනය කළ සහ දේශනා කළ, මනුෂ්‍යාති මනුෂ්‍ය ලෙස ක්‍රියා කළ සහ ක්‍රියා කරන ගුරුවරයෙක් වූහ. උන්වහන්සේ හෙළි කළ මඟ ලෞකිකත්වය හඹා යෑමෙන් සපුරා වැළකිය නොහැකි කෙනෙකුට පහසුවෙන් අනුගමනය කළ හැක්කක් විය.

බුදුදහම ඇෆ්ඝනිස්ථානයේදී ආගන්තුක සංස්කෘතීන්ගේ නොයෙක් මූලිකාංග නොමසුරුව උකහා ගත්තේ ය. එහිදී සදාචාරය පිළිබඳ ප්‍රායෝගික ක්‍රමවේදයක් සහ සමස්ත සත්ත්ව සන්තතිය කෙරෙහි මුදු මොළොක් පිළිවෙතක් අනුගමනය කළ දක්ෂිණ සම්ප්‍රදායක් වන හීනයාන බුදුදහම බරපතළ විකල්පයක් බාර ගෙන විඳ දරා ගත්තේ ය. ග්‍රීක සේම වෙනත් විදේශීය බලපෑම්, පුරාණෝක්තිය (දේවකතා සම්ප්‍රදාය) සහ ප්‍රතිමා වන්දනාව පිළිගත්තේ ය. කනිෂ්කගේ අනුග්‍රහය යටතේ මේ කඩිනම් විපරීතයනට දිරිගැන්වීමක් ලැබිණ. මහායාන සම්ප්‍රදායේ පැවැත්ම පිළිබඳ එවන් පසුබිමක් සැකසුණේ එලෙසිනි. එපරිදි බුදුදහමේ කේන්ද්‍රස්ථානය ඉන්දියාවෙන් ගන්ධාරයට විතැන් වූයේ ය.

හීනයාන සම්ප්‍රදාය බොහෝ දුරට බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද මූලික ශ්‍රද්ධාව සමඟ බැඳී පවතී. ඒ අතර උතුරු බුද්ධාගමක් ලෙස හැඳින්විය හැකි මහායාන සම්ප්‍රදාය ග්‍රීක සහ වෙනත් ප්‍රාදේශීය මූලාශ්‍රයන් ඇසුරින් නොයෙක් වෙනස්කම් වලට ලක්ව ඒවාට ඔරොත්තුදී සිටී. ඒ ඔස්සේ එය කෙමෙන් නව සම්ප්‍රදායක ආගමක් ලෙස වැඩී ගියේ ය.

පැරණි හෙවත් ආදී බෞද්ධ සම්ප්‍රදාය කිසිම විටක බුදුන් වහන්සේ මිනිස් ආකෘතියෙන් නිරූපණය කරන්නේ නැත. උන්වහන්සේගේ මූර්තිකරණය සංකේතවත් කර ඇත්තේ අපූර්වත්වයෙනි. එනම් හිස් ආසනයක්, පාසටහනක්, සේසතක්, ආරෝහකයකුගෙන් තොර අශ්වයෙක් හෝ හිස් සිංහාසනයක් ආදී විසිනි. අලුත් මහායාන සම්ප්‍රදායට අනුව බුදුන් වහන්සේ නිරූපණය වන්නේ මිනිස් ආකෘතියෙනි. එපමණක් නොව ඒ ආකෘතිය හෙවත් ප්‍රතිමාව වඳිනු පුදනු ද ලැබේ.

කනිෂ්ක රාජයා විශිෂ්ට නිර්මාණශීලියෙක් පමණක් නොවේ, බුදුදහමේ සක්‍රියශීලි අනුග්‍රාහකයෙක් ද වෙයි. ඔහුට අගනුවරවල් දෙකක් විය. කපිසා හෙවත් කාබුල් නගරයට සැතපුම් 35 ක් උතුරින් පිහිටි නූතන බග්රාම් නුවර ඔහුගේ ගිම්හාන මාලිගය වූ අතර පුරුෂපුර හෙවත් පෙෂවෝර්හි සිසිර මාලිගය විය. ඔහු සිය අගනුවර විභූතිමත් ගොඩනැඟිලි, ස්තූප සහ සංඝාරාම වලින් අලංකාර කර තිබිණ.

කනිෂ්ක විසින් පෙෂවෝර්හි අලංකාර සංඝාරාමයක් ගොඩනංවා තිබිණැ යි කියනු ලැබේ. එහි උත්තුංග ස්තූ®පයක් විය. එය උසින් අඩි 150 කි. ඒවායින් සමන්විත විහාරය එදා තිබුණු ආකර්ෂණීයතම විහාරයන්ගෙන් එකක් විය හැකි ය. කපිසා නුවර නොගිණිය හැකි තරම් සංඝාරාම සංඛ්‍යාවක් ගොඩනංවා තිබිණ. ඒවායින් එකක් ගොඩනංවා ඇත්තේ කනිෂ්ක විසින් සිය මාලිගයේ ඇපයට තබා ගන්නා ලද චීන කුමාරිකාවක් විසිනි.

ක්‍රි. ව. හත්වැනි සියවසේ මුල හරියෙදී කීර්තිමත් චීන වන්දනාකරු වන හියුං සාං පැමිණෙන විට විහාරයේ සංරක්ෂිත තත්ත්වය සතුටුදායක විය. රටපුරා විසිරී තිබුණු එවන් සංඝාරාමයන්ගේ සමෘද්ධිය සහ සුන්දරත්වය හියුං සාං ඉමහත් ප්‍රහර්ෂයෙන් විස්තර කරයි. ඒ කීර්තිමත් මිටියාවතෙහි පසුකාලීන බෞද්ධ ගොඩනැඟිලිවල කේන්ද්‍රීය ලක්ෂ්‍යය බවට පත් බාමියන්හි වඩා කුඩා පිළිමය (මීටර් 35 ක් උස) හෝ අඩු තරමින් එහි පාමුල පිහිටි ස්තූපය (තව දුරටත් එහි නැත) ඒ ශ්‍රේෂ්ඨ අධිරාජයාගේ දෘඪ ප්‍රයත්නයට දායාදයක් වන්නේය.

බාමියන් වනාහි එසමයෙහි නාලන්දා, අජන්තා, එල්ලෝරා සහ ඕදන්තපුරී සමාන කීර්තිමත් සාංස්කෘතික තෝතැන්නකි. නටබුන් නිසි පරිදි ගොඩ ගෙන අධ්‍යයනය කළ කල්හි එහි ග්‍රීක - බෞද්ධ සංස්කෘතියේ සංවර්ධනය පිළිබඳ දැවැන්ත ආලෝක ධාරාවක් විහිදුවනු දකිනු හැකි ය. එවිට නිසැකයෙන් ම අපේ අත්‍යන්තයෙන් ජටාජටික ගැටලු සහ ප්‍රහේලිකා වලට ඇතැම් විසඳුම ලැබෙනු ඇත.

එසේම එවන් ආදී සමයේ බාමියන්, සුපතළ වෙළඳ මධ්‍යස්ථානයක් විය. ඉන්දියාව, බාල්ක් සමඟ යාකරමින් වැටී තිබුණු වෙළඳ මාර්ගය ඔස්සේ කුළුබඩු, මුතු, ඇත්දළ සහ කපු වලින් නිමි භාණ්ඩ බාමියන් පසු කරමින් ඇදී ගියේ ය. ඉන්දියාව සහ බටහිර රටවල් හා චීනය අතර ගමනාගමනය හෝ වෙළඳ හුවමාරුව බාමියන් ඔස්සේ සලකුණු කල හැකි ය. එවන් යටගිය දවසක 13 වැනි සියවස මුල් සමයේ ජෙන්ඝීස් ඛාන්ගේ ආක්‍රමණය දියත් වන තුරු බාමියන් පිළිබඳ වෘත්තාන්තය එවැන්නකි.

බාමියන් පිහිටා ඇත්තේ කාබුල් නගරයට සැතපුම් 145 ක් උතුරකිනි. වර්තමානයෙහි මෝටර් වාහන ගමන් කළ හැකි මාර්ගයක් කෝදාමන් සහ ඝෝර්බෑන්ඩ්හි සුන්දර මිටියාවත් ඔස්සේ ඇදී යයි. කාබුල් සිට සැතපුම් 110 ක් පමණ දුරකින් ශිඛාර් දුර්ගය නමින් දුර්ගම නැග්මක් ඇත. එය සිසිරයේදී නිරන්තරයෙන් හිම තට්ටු වලින් අවහිරවී ඇත. දුර්ගයේ සිට සැතපුම් 19 ක් පමණ ඉදිරියට ප්‍රධාන මාර්ගය අතුරුමං වලට බෙදෙමින් ඇදී යයි. දකුණතට විහිදුණු එකක් මසාරි ෂාරෆ් සහ කට්ඝාන් වෙත දිවෙයි. දෙවැන්න වමත් දෙසින් බාමියන් වෙත විහිදෙයි.

බාමියන් නුවර වෙත දිවෙන මාර්ගය එනමින් ම හැඳින්වෙන ගඟට සමාන්තරව ඇදී යයි. ගඟ අද්දර දිගින් දිගට විවිධ වර්ණයෙන් යුත් කඳු වැටියක් විහිදෙයි. එහිදී වඩාත් ඉස්මතුව පෙනෙන්නේ රක්ත වර්ණයයි. එහි සිට සැතපුම් හයක් පමණ දුරින් මඩගොහොරු දුර්ගයක බලකොටුවක් දිස් වෙයි. එය පිහිටා ඇත්තේ පසු කර ගෙන යන්නවුන්ගේ අවධානය යොමු කරවන කඳු බෑවුමකය. එය සහකිමරාන්ගේ බලකොටුව යි. ඉන් ටික දුරකින් ඔබ්බෙහි මිටියාවත පුළුල් වෙමින් විහිදෙයි. ඉක්බිති ගල්ගුහා වලින් පිරි නගරය දිස් වෙයි.

ඓතිහාසික බාමියන් නගරය නම් එය යි. දැන් එය නටබුන්ව මුහුදු මට්ටමින් අඩි 9000 ක් පමණ උස රත් පැහැති කඳු පාමුලක වැතිර සිටී. සැබවින් ම බාමියන් හින්දුකූෂ් සහ කෝහිබාබා නමින් හැඳින්වෙන යෝධ කඳුවැටි අතර බෙදුම් රේඛාවක් වැනි ය.

මහා සානුවක වැතිර ගත් බාමියන් මිටියාවත මුහුදු මට්ටමින් අඩි 8000 – 9000 අතර උසක පිහිටා සිටී. දකුණු දිසාවේ පිහිටි හිම තට්ටු වලින් වැසී ගගිය කෝහිබාබා කඳු දාමය අඩි 16,000 – 17,000 තෙක් උසින් විහිද යෙයි. වැඩිතමයක් දුර්ග තරණය කරන්නට සිදුවන්නේ එක්තරා සෘතුවක, දවසේ නියමිත කාල සීමාවක් තුළ පමණි. කෙසේ වෙතත් උග්‍ර සිසිර මාසයේදී නම්, ඒවා ගනබහල හිමතට්ටු වලින් සහ හිමකුණාටු වලින් වැසී යෙයි. ගැඹුරු මිටියාවත් මෙකී කුණාටු පිට නැඟ ගත් සානුවට හරස් කපමින් ද, නිතර ම සුන්දරත්වයක් ජනිත කරමින් ද හැම අතින් ම දකින්නට ලැබෙන මලානික සහ පාළු කඳුවැටි වලට නවමු විචිත්‍රත්වයක් ආරෝපණය කරයි.

බාමියන් පිළිබඳ ලේඛනගත ඉතිහාසයක් නැතිවීම අබිරහසකි. සැබවින් ම එය කෙසේවත් නොවිය යුත්තකි. ඇයි ද යත්, බාමියන් ඇෆ්ඝනිස්ථානයේ ආකර්ෂණීයතම මිටියාවත යි. එසේ වන්නේ ගිලිහී ගියාවූ ප්‍රාදේශීය සාක්කි සේ ම බුදු දහම පිළිබඳ සජීවී බවට පත් මහිමයක් නිසයි. අද එය මුළුමනින් ම නටබුන්ව ගොසිනි. එහෙත් එය ව්‍යක්ත ප්‍රතිචාර දක්වමින් අප අමතයි. එසේ අමතා කියන්නේ එක්තරා යුගයක තමන් සතුව පැවති ශ්‍රී විභූතිය යි. වත්මන්හි හැම වසරක් පාසා ම එහි යටගිය දවස ඉතිහාසය පිළිබඳ කිසියම් චිත්තාකර්ෂණීය එළිදරවුවක් අත්දකින්නට ලැබේ. නැතහොත් කාබුල් කෞතුකාගාරයේ තේජාන්විත සංතියට කුතුහලය දනවන කෞතුක භාණ්ඩයක් එක් කැරෙයි. එහෙත් තව කොතෙකුත් නෂ්ටාවශේෂ කැන ගොඩදමා ගත යුතුව ඇත. එකල්හි මෙතෙක්දු සපුරා ආවරිත, යටගිය සෞභාග්‍යවත් ඉතිහාසය පිළිබඳ ගැඹුරු අබිරහස් මත ව්‍යාප්ත ආලෝකයක් පැතිර යනු දකින්නට හැකි වනු නියත ය.

මහා පරිමාණ නෂ්ටාවශේෂයෝ තවමත් අද්දර ප්‍රපාතයන්හි දකිනු හැක්කෝ ය. සැතපුම් හයක් හෝ හතක් දිගට මේ ප්‍රපාත ඉවරයක් නැති ගුහා නිවෙස් විසින් සිදුරු කර ඇත. එදා උප්රෝස් නමින් හැඳින්වුණු නගරයේ ශහ්රි ඝුල්ඝෝලා නම් නාගරික බලකොටුව හැර අන් කිසිවක් ඉතිරිව නැත. මිටියාවත මැද හුදකලාවූ පර්වතයක් එයට පළඳවන ලද යෝධ ඔටුන්නක් සේ නැඟී සිටී.

බාමියන් දුර්ගයෙහි නොයෙක් දිසාවල පැතිකඩ මත අවසාදිත පාෂාණයෙහි වඩා කුඩා ඒවා සමඟ දැවැන්ත බුද්ධ ප්‍රතිමා (මීටර 53 ස 35 ) කැටයම් කර ඇත. එක් වරක්වත් හුනු හෝ සිමෙන්ති බදාම ගන්වා, ඇතැම් විට වර්ණාලේපයෙන් ඔප දමන ලද මේ බුදුපිළිම ඒවා පාමුල වැඳ වැටෙන, වෙහෙසට පත් වන්දනාකරුවන්ගේ පරිකල්පනය විසින් තරයේ ආකර්ෂණය කර ගන්නට ඇතුවා නිසැක ය ක්‍රි. ව. 630 වසරේදී බාමියන් මිටියාවතේ සංඝාරාම දහසකටත් වැඩි ගණනක් හා දහසක් භික්ෂූන් ගැණ බලා ගෙන නැරඹු කල්හි හියුං සාං මෙසේ කියයි: “කාෂාය වර්ණ රේඛා දාමය දිදුලමින් හාත්පස ආලෝක ධාරා විහිදුවයි”.

විශාල බුදුපිළිම දෙකින් වඩා පැරණි වන්නේ, අඩි 100 කට වඩා උස, නමුත් වඩා කුඩා පිළිමය යි. එය ගොඩනඟන්නට පටන් ගෙන ඇත්තේ ක්‍රි. ව. දෙවැනි සියවසේ බව පෙනේ. ඒ ඇතැම් විට කනිෂ්කගේ අනුග්‍රහය යටතේ විය හැකි ය. අඩි 160 ක් පමණ උස වඩා ලොකු පිළිමය ඇතැම් විට ඊට පසු ක්‍රි. ව. හතර වැනි හෝ පස් වැනි සියවසේ වන්නට පුළුවන. පිළිම ගෙවල් හෙවත් කුටි විරූපවී ඇත. පිළිම වලට සමකාලීන විය හැකි වුවත් බිතු සිතුවම් එතෙකුත් ආකර්ෂණීය වෙයි. පුරාවිද්‍යාත්මක දෘෂ්ටියෙන් බලන කල ඒවා බෙහෙවින් අගය කළ යුතු ය. ඇයි ද යත්, ඇෆ්ඝනිස්ථානයට ඉන්දියානු කලාව සංක්‍රමණ්‍ය වීමේ දිගුකාලීන ක්‍රියාවලියේ වැදගත් පියවරක් සනිටුහන් කරන නිසාත්, එක්තරා පියවරකදී සිංකියෑං ඔස්සේ චීනයට සහ ඈත ජපානයට සම්ප්‍රාප්ත වන්නට පළමු ග්‍රීක, රෝම සහ සසේනියානු මූලාශ්‍රයන්ගේ ආභාසය ලැබ ඒ සමඟ මුසුවූ නිසාත් ය. සෞන්දර්යාත්මක ආකර්ෂණීයත්වය නිසා මේ බුද්ධ ප්‍රතිමා අගැයීමේදී, ඒ පිළිබඳ විවරණය වාග්විෂයාතික්‍රාන්ත ය. ඇයි ද යත්, ආගමික සංකල්ප විෂයයෙහි ප්‍රභා කේතුමාලාවක් වන හෙයිනි.

සහතික විසින් ම බාමියන් පුරා ආගමික වාතාවරණයක සුවඳ වහනය වෙයි. එය සමස්ත මිටියාවත පුරා ව්‍යාප්ත වන්නකි.යටගිය ආදී සමයක සංචාරකයන් බින්දුකුෂ් කඳුවැටිය ඔස්සේ සර්වාංගයේ රුජා දුරුකරමින් තරණය කළ වෙහෙසකර දින කීපයකට පසු අත්දකින්නේ සොබාදහමේ කුරිරු බවකි. ඕනෑම මොහොතක සංචාරකයා තළා පොඩි කර දමන්නට තරම් සූදානම් වන්නා සේ පෙනේ. ඒ හණික සියලු වෙහෙස යටපත් කරමින් ඉදිරියෙන් දිස් වන්නේ බාමියන් මිටියාවත යි. එවිට දුටුමතින් නෙත් පහන් කරන්නේ පලාවන් පැහැය යි. සිතට ගෙන එන්නේ සාමකාමී හැඟීමකි. වේගයෙන් ගලා බසින ජලධාරාවෝ ය. ඒවා තේජස්වී කෝහිබාබා කඳුවැටියට පළඳවන ලද ඔටුන්නක් වැන්න. කෙනෙකුට මේ සුන්දරත්වය වනාහි පාළු කඳුවැටියෙහි වනපෙත තුළ බුදුන් වහන්සේ විසින් පරිත්‍යාග කරන ලද්දක් සේ ය.

දැන් නටබුන්ව ඇතත් බාමියන් යනු පෙරදිග ලෝකයේ දැකිය හැකි සාතිශය කුතුහලය දනවන පුරාවිද්‍යාත්මක සම්පතකි. මුස්ලිම්වරුන් පැමිණෙන විට එය සමෘද්ධිමත් පුරවරයකි. ඒ අතර 13 වැනි සියවස ආරම්භ වන තුරු ම විශිෂ්ට වෙළඳ මධ්‍යස්ථානයක් හා විද්‍යාශාස්ත්‍ර නිකේතනයකි. ආදී මුස්ලිම් ලේඛකයෝ ඒ ගැන ප්‍රහර්ෂාත්මක වාග්ධාරාවෙන් වර්ණනා කරති. උදාහරණයක් ලෙස යකුයිබි, බිත්ති කුහර හා ගල්ගුහා අලංකාර කරන ලද බිතුසිතුවම් ගැන සවිස්තරාත්මක තොරතුරු දක්වයි. ප්‍රාදේශික ජනතාව ලොකු බුදුපිළිමය රතුපාට බුදුන් සහ කුඩා බුදුපිළිමය අළුපාට බුදුන් ලෙස හඳුන්වන බව යකුයිබි සඳහන් කරයි.

ක්‍රි.ව. 13 වැනි සියවසේ මුල හරියෙදී මොන්ගල් ජාතික ජෙන්ඝිස් ඛාන් විසින් බාමියන් ආක්‍රමණය කැරිණ. ඔහුගේ එක් මුණුපුුරකුවූ මුතුජන් (ජගතායිගේ පුතා) බාමියන් වටලන ක්‍රියාන්විතයේදී මරණයට පත්වූ බව කියනු ලැබේ. එහෙත් දිග කලකට පසු නගරය යටත් කරනු ලැබූ කල්හි කෝපයට පත් ජෙන්ඝිස් ඛාන්, පණ ඇති කිසිදු මිනිසකු හෝ සතකු මුදා නොහරින ලෙස අණ කළේය. මුළුමනින් විනාශයට පත් නගරය “මාඕ – බාලිග්” හෙවත් “දුෂ්ට පුරවරය”” නමින් හැඳින්විණ. බාමියන් තව දුරටත් විශිෂ්ට ආගමික කේන්ද්‍රස්ථානයක් නොවුණත්, නූතන ප්‍රවාහන ක්‍රමය මඟින් සලසා ඇති පහසුකම් වලට ස්තුති වන්නට , ප්‍රධාන පෙළේ නූතන සංචාරක සේව්‍යස්ථානයක් බවට පත් වුවහොත් පමණක් හණික එහි අතීත ශ්‍රී විභූතිය ප්‍රකෘති තත්ත්වයට පත් කරමින් දර්ශනය වනු ඇත.


(Mahabodhi Centenary Commemorative Volume - SAMBHASHA සඟරාවේ පළ කරන ලද ආචාර්ය මෝහන් ලාල් ශර්මාගේ Bamiyan: Where once Buddha’s Golden Lines Sparked නිබන්ධනයේ පරිවර්තනයකි. එය සපයා ඇත්තේ 1970 දී හෙයින් විෂය අන්තර්ගතය සීමා කර ගත යුත්තේ ඊට අනුරූප වන පරිදිය. – පරිවර්තක)

ආචාර්ය මෝහන් ලාල් ශර්මා

පරිවර්තනය - නාරාවිල පැට්රික්

Share

පාරමිතා පූජාව - 2019

Mahabodhi Temple

කිංසීද සූත්‍රය

2015 වෙසක් තොරණ

47වන වරටත් ඉදිකළ - මහර තොරණ

 

Read more >>

යුගාසන කවි බණ 01

යුගාසන කවි බණ 02

-----------------------------------------------------------------------

වර්තමාන විහාරාධීපති

About Sriviwekaramaya

click here

Paritta

Paritta-01

Paritta-02

Paritta-03

Email Us :-

email

ගෞතම බුදුරජාණන් වහන්සේ

siddartha-kumaru
mul-jiwithaya-ha-vivahaya
buddathwayata-pathweema
gawthama-budurajanan-wahans
darma-pacharana-charika
sanga-samajaya-athiwima
lowata-sri-sddaramaya-pahal

bududhama
bududahame-ithihasaya
samma-sambuduwarun
niwana
thripitaka-ithihasaya
prathamadarma-sangayanawa
dewana-sangayanawa
thewana-sangayanawa
chathurarya-sathya
dukka-sathya
samudaya-sathya
niroda-sathya
dukka-niroda-gamini-patipad
therawada-bududhama
mahayana-bududhama
gihi-saha-pavidi-jiwithaya

anapanasathi-bawanawa

yoga-darshanaya

pasaloswaka-pohoya-dolaha-f

ශ්‍රී දළදා මාලිගාව

dalada-maligawa

රත්නමාලී යන්ත්‍රය

rathnamali-yanthraya

ata-wisi-bodi-puja

bodi-wandana-kawi

කලා ශිල්ප

srilankawe-kala-silpa
katayam-kalawa
athdath-katayam
isuru-muniya-katayam
wahalkada-katayam
korawak-gala-katayam
muragala-katayam
sadakada-pahana-katayam
ambakke-katayam

දහම් කරුණු

sathpurusa-ha-asathpurusa-p
sugathiya-ha-dugathiya
budunwahansege-iganweem
pranagathya-yanu-ha-in-midi
karmaya-ha-punarbawaya
alpechchathawaya
satharawaram-dewa-sankalpay
bawdha-chithra-kalawa
bawdha-darmaya-ha-chanithan
bududhama-ha-samaja-sankalp
bududhama-ha-samajaya
bududhama-ha-vivaha-jiwitha
nikaya-bedaya-ha-rajya-pala
barathiya-bawdha-padiwaru
sathara-sangra-wasthu
asu-maha-sawakayan-wahansel
biksu-sasanaya

කාව්‍ය ග්‍රන්ථ

subasithaya yasodarawatha

lowada-sagarawa

මෙම  කාව්‍ය ග්‍රන්ථ කියවන ඔබ සැමටත්  උතුම් වූ ශ්‍රී සද්ධර්මය  අවබෝධ වෙවා!......

ip address tracker software