topone

nikaya-bedaya-ha-rajya-pala

මිහිදු මහරහතන් වහන්සේගෙන් ඇරඹුණු  ලක්දිව බුදුසසුන සියවස් තුනක් භේදයකින් තොරව සංවිධානාත්මක ව පැවැතිණි. ථෙරවාද බුදුසමයේ කේන්ද්‍රස්ථානය අනුරාධපුරයේ මහවිහාරය බවට පත් විය. සියවස් තුනක් පැවති සංඝ සාමග්‍රිය වළගම්බා රජු දවස (ක්‍රි.පූ. 89-79) ප්‍රථම වරට දෙදරා ගියේය.

වළගම්බා රජ දෙ වරක්  සිරිලක අග රජ වූයේ ය.

පළමුවෙනි වර ක්‍රි .පූ. 103-102 දක්වා මාස පහකි. දෙ වන වර ක්‍රි.පූ. 89-77 දක්වා වසර දොළොසකි.  පළමු වර රජ බවට පැමිණ මාස පහක් ගෙවී යන්නට පෙර ඉතා අවධානම් තර්ජනයකට වළගම්බා රජ මුහුණ පෑවේ ය. පැති දෙකකින් සතුරු සේනා රාජ්‍ය අල්ලා ගැනීමට පැමිණියේ ය. තීය( තිස්ස) බමුණා දකුණු දෙසින් රජුට විරුද්ධව නැගී සිටියේ ය. උතුරු දෙසින් ද්‍රවිඩයන් හත් දෙනෙක් මහාසේනා සමග මාතොටින් ගොඩබටහ. 


බැමිණිටියා සාය


වංශකථා වලත් අටුවා ග්‍රන්ථවලත් සදහන්ව ඇති බ්‍රාහ්මණටීය හෙවත් බැමිණිටියා සාය නමින් හැදින්වෙන තත්ත්වය ඉතා වැදගත් වෙයි. මෙය අතිශය දරුණු නියා සාගතයක් සේ ද රාජ්‍ය විරෝධී කැරැල්ලක් සෙ ද සමහරු අර්ථ නිරූපණය කරති. මෙයට මල් වූ ටීය, තීය , තිස්ස යන නම් වලින් හදුන්වනු ලබන පුදුගලයා බ්‍රාහ්මණයෙක් ලෙස සදහන් වීම වැදගත්වෙයි. මොහු ‘චණ්ඩාල’ යන නමින් ද අටුවා  ඇදුරෝ හදුන්වති. එයින් බෞද්ධ ආචාර්යවරුන් ඔහු වෙත  දැක් වූ  පිළිකුළ ධ්වනිත වේ.


අබෞද්ධයකු වූ තිස්ස බලය ගොඩනගා ගත් ආකාරය විමසීම වටී. ඔහු අබෞද්ධයකු බව භික්ෂූන් ඔහුට විරුද්ධව දෙවියන් අයැදීමෙන් ප්‍රකට වෙයි. ඔහුගේ බලය කෙතරම් වීද  යත් , ඔහු ශක්‍රයන්ටද මර්ධනය කළ නොහැකි යැයි සදහන් වීමෙන් පැහැදිළි වෙයි. තිස්සට රුහුණු ප්‍රදේශයෙහි අතිවිශාල ජන බලයක් පැවතියේ ය. මොහු රාජ්‍යට පටහැනිව නැගී සිටීම බුද්ධාගම රාජ්‍ය ආගම බවට පත්වීම නිසා උද්ගත වූ අබෞද්ධ අසහනයේ එක් අවස්ථාවක් ලෙස හදුනා ගැනීම අපහසු නොවෙයි.


තිස්සගේ ක්‍රියා කලාපයත් සමග ම ස්වභාව ධර්මය ද බලපෑමෙන් රටේ විශාල සාගතයක් හටගත්තේ ය. මෙහි ප්‍රතිඵල දැඩි සේ භික්ෂුන්  වහන්සේට දැනුණේ ය.ඇතැම් භික්ෂුහු ජීවිතාරක්ෂාව පතා දඹදිවට වැඩම කලහ.රහතන් වහන්සේ 24,000 ක් සිතුල් පවුවේ දී පිරිනිවන් පෑ බව වාර්ථ වල  සදහන් වේ. සංඛ්‍යාව කෙසේ වුවද විශාල භික්ෂු පිරිසකට හානි පැමුනුණු බව වටහා ගත හැකිය. මේ වකවානුව වන තුරුම ශාසනය භික්ෂුන් වහ්නසේ අත ම පැවතිණි. තෙවළා බුදුවදන වාචෝත්ගතව පවත්වාගෙන එනු ලැබිණි.

පොත්වල ලියා නොතිබිණි. එබැවින් භික්ෂුන්ගේ අභාවය සිදු වුවහෙත් බුද්ධ ධර්මය ද  අභාවයට ගියා වෙ යි. එය ඉතා භයානක තත්ත්වයකි. මේ නිසා සහර වැදගත් ධර්ම ග්‍රන්ථ නැත්තටම නැති වන්නට ඉඩ ඇත. මේ තත්ත්වය වටහා ගත් වගකිව යුතු තෙරවරු විවිධ පලාත් වලට පලා ගියහ. විශේෂයෙන් මලය ප්‍රදේශයට -කදු රටට වැඩම කොට පෙළ දහම වාචෝත්ගත කොට අස්වසමින් රැක ගැනීමට දිරි දැරූහ. මේ පිළිබද විස්තර අටුවා කථ ාවල නිතර හමු වෙයි කාය ශක්තිය පිරිහුණු භික්ෂුහු බිම වැතිර ගෙන හඩ නගා සඤ්ජායනා කිරීමට අසමත් කළ කණින් කනට කොදුරමින් ත්‍රිපිටකය පිළිබද මතකය රැක ගත්හ. 


නිගණ්ඨාරාමය


වළගම්බා රජුට විරුද්දව උතුරින් ආ ද්‍රවිඩයන් හත්දෙනා පාණ්ඩ්‍යවංශිකයන් සේ සලකනු ලැබේ. පණයමාර, පිලය මාර් ආදී ඔවුන්ගෙ නම් වලින් එය ප්‍රකට වන බව ඉතිහාසඥයන්ගේ මතය යි. දෙපැත්තනේ සතුරු උවදුරු ගලා ආ කළ වළගම්බා රජ , තල්පතක ලියා, ‘දෙමළුන් සමග යුද කොට ජය ගතහොත් ඔබට රාජ්‍ය දෙමැ’යි හස්නක් තිස්ස බමුණාට යැවී ය. ලිපියෙන් රැවටුණ තීය බමුණා දෙමළුන් සමග යුද වැද පරාජයට පත් වූයේ ය.

ජය ගත් දෙමළ සේනා අනුරාධපුරය බලා එන බව අසා දැන ගත් වලගම්බා කෝලම්භහාලක නමැති ස්ථානයේදී සතුරන්ට මුහුණ දී අභිතව සටන් කොට  පරාජයට පත්වූයේ ය. “ජනතාව සංවිධානයකොට මතු වූ දවසක ආක්‍රමණිකයන් පරාජය කරමි.” යි සිතා පලා යන රජුට ගිරි යන් නිගණ්ඨයා “මහ කළු සිංහලයා පලා යයි” යි අවමන් කළේ ය. මේ වදන් සටන් කළ රජ , ‘යළි රජ වූ සැනින් නිගණ්ඨාරාමය නඩා බිද දමා එහි භික්ෂුන් වහන්සෙලා  සදහා බෞද්ධ ආරාමයක් ගොඩනගන්නමි’ යි අධිෂ්ටාන කර ගත්හ. සෝමා දේවිය රථයෙන් බැස්ස පසු පණ බේරා ගෙන වළගම්බා රජ චේතියගිරිය විහාරයේ උප වනයෙහි සැග වූණේය.


මහාතිස්ස තෙරණුවෝ


චේතියගිරිය විහාරයේ කුපික්කල මහා තිස්ස තෙරණුවෝ නිරාහාර ව සිටි රජ පවුල නඩත්තු කලහ. පිණ්ඩපාතයෙන් ලැබුණු ආහාර පළමු ව තමා වළදා ඉතිරිය ගිහියන්ට දීම විනය නීති වලින් අනුමත කොට ඇත. කෘතගුණ දත් රජතුමා වැටකේ (කේතකී) පතක ලියා වෙස්සගිරි අවට ප්‍රදේශය මහාතිස්ස හිමියන්ට පරිත්‍යාග කළේ ය.  ලාංකික භක්ෂුවක් පෞද්ගලික දීමනාවක් පිළිගත් පළමු මෙය සේ සැලකෙයි. බැමිණිටියාසායේ අත්දැන්‍කීම් ලත්  භික්ෂුහු මාතලේ ජනපද ප්‍රධානියෙක්ගේ දායකත්වයෙන් අලු විහාරයේ දී ධර්මයේ චිරස්තතිය පිණිස ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කලහ. 


අභයගිරි පූජාව


වලගම්බා රජ වසර දහතුනකට පසු නැවත වරක් අනුරාධපුරය ජය ගත්තේ ය. රජතුමා රජ පදවිය ලත් වහාම පාරම්පරිකව මෙතෙක් පැවති සිරිත් පිටු දකිමින් පූජාවක් කළේ ය. එතුමාගේ අසීරු කාල සීම‍ාවේ දී බෙහෝ ලෙන්ගතුව උපකාර කළ කුපික්කල මහාතිස්ස තෙරනුවනට ලිරි නමැති නිගණ්ඨයාගේ ආරාමය පැවති තැන අභයගිරි නමින් අභිනව ආරාමයක් ඉදිකොට පූජා කළේ ය. ඉතිහාසය තොරතුරු  පරීක්ෂා කරන කළ ගිරිගේ ආරාමය බෞද්ධයන්ට විරුද්ධව අබෞද්ධයන් විසින් කුමන්ත්‍රණය කළ මධ්‍යස්ථානයකි. එහි ඉදි කළ නව ආරාමය පෞද්ගලිකව පූජා කළේ  තමාගේ දුර්භාග්‍ය සම්පන්න අවස්ථාවේ තමාට කළ  උපකාර වලට කෘතගුණ  සලකනු වස්ය.


නැවත සටන සදහා රුහුණේ සිට එන ගමනෙ දී අච්ඡිගල්ල විහාරයේ පැවැත් වු පූජා උත්සවයක දී රජු අතින් එක්තරා අවිචාරවත් සිද්දියක් සිදු විය.එ නම් තමාට නිසි රාජ ගෞරව නොදැකි වී යැයි කිපිසීය නමැති ඇමතිවරයාගේ හිස ගසා දැමීම ය. මේ සිද්ධිය නිසා අනෙක් සේනාධිවරු රජු අතහැර ගියහ. එසේ ගිය සේනාපතිවරුන් මහාතිස්ස හිමියෝ කරුණු අවබෝධ කොට දී ආපසු කැදවාගෙන ආහ. මීට කළගුණ සලකනු වස් රජ වූ වහාම ඒ හිමියන් අනුරාධපුරයට වැඩම කරවා අගනුවරම නතර කර ගත්තේ ය.

වළගම්බා රජු කළ මේ පෞද්ගලික පූජාවට මහාවිහාරීය භික්ෂුහු සපුරා විරුද්ධ වූහ. පිටිසරබද  ගමක විසූ මහාතිස්ස හිමියන් අගනුවරට වැඩම කළේ රජතුමාගේ ආරාධනයෙනි. මහාවිහාරයේ භික්ෂුහු මහාතිස්ස හිමියන් “පමණට වඩා ගිහි ගෙවල අය සමග ඇසුරු කරති” යි පබ්බාජනී කර්මය කළේය.  උන් වහන්සේගේ ප්‍රභල ශිෂ්‍යයා වූ බහළමස්සුතිස්ස - මහාදැළියාතිස්ස- හිමියන්ට ද උක්ඛෙපනීය කර්මය කරන ලදි. මේ නිසා බහළමස්සුතිස්ස තෙතතර මහාවිහාරය අතහැර අභයගිරියෙහි වාසයට ගියේ ය. මහාවිහාරයෙන් වෙන් වුවද මුන්වහන්සේලා අලුත් ධර්මයක් අනුගමනය නොකලහ.


අනුරාධපුරයේ උතුරු පැත්තේ පිහිටා ඇති නිසා අභයගිරිය ‘උත්තර විහාරය’ යන නමින්ද හැදින්වෙ යි. මහාවිහාරය පිහිටු වීමෙන්  අවුරුදු 240 යි මාස 10 දවස් 10 කින් පසු අභයගිරිය නැති වී යයි මහාවිහාරය වාර්ථා ගත කොට ඇත. දින වකවානුව මේ තරම් නිවරදිව ඔවුන් සටහන් කරන්නට ඇත්තේ මහාවිහාරීය භික්ෂුන් අභයගිරිය කෙරෙහි සුවිශේෂ අවධානයකින් සිටි නිසා විය යුතුය. අභයගිරිය නිසා ථෙරවාද  බුද්ධ ධර්මයට පහර වදිතැ’යි මහාවිහාරීය තෙරවරු කල්පනා කලහ. එබැවින් ඔවුහු ලෝවාමහා ප්‍රාසාදයට රැස් ව ඒ පිළිබද ව සාකච්ඡා ද  කල හ.


ආරම්භයේ මහාවිහාරය තුල මහත් ආන්දෝලනයක් ඇති කළ වළගම්බා රජ නො නවත්වාම අභයගිරියට උපකාරීව සිටිය හ. පළමු වරට භික්ෂුන්ගේ වාසය සදහා කුටි 12 ක් ගොඩනැගූ බව සදහන් ය. මහාවංස ටීකාව 32 බව කිය යි. ඒ ආරාමය තුළ විහාර ද භික්ෂුන් සදහා තව තවත් කුටි ද ගොඩනගා ඇත. ඒ භික්ෂුන්ට සිවුපසය ලබා ගැනීමට සුදුසු වන පරිදි වැටුප් ලැබෙන ක්‍රමයක් ද සකස් කොට ඇත. වේතන ප්‍රධානය කිරීමෙන් විහාරයේ අභිවෘද්ධිය  සලසා දූරදර්ශීව ක්‍රයා කළ බව පෙනේ.

මහාවිහාරයේ භික්ෂුන්ගේ පෙළඹවීම නිසා අනාගතයේ රජවරුවරුන්ගෙන් ආධාර අභයගිරියට නොලැබුණහොත් රජු නියම කළ වැටුප් වලින් විහාරය පවත්වා ගෙන යාමට එ මගින් ඉඩ සලසන  ලදි.අභයගිරියේ භික්ෂු සංඛ්‍යාව වැඩි කිරීමට වැටුප් දුන් බව මහාවංසය සදහන් කරයි. කෙසේ වුවද චීන දේශාටක ෆාහියන් භික්ෂුව මෙහි එන විට අභයගිරියේ භික්ෂුහු 5000 ක් වාසය කර ඇත. මහාවිහාරයේ වාසය කොට ඇත්තේ 3000 කි. 


පර්යාප්ති - ප්‍රතිපත්ති විවාදය 


නියං සාගත සමයේ දඹදිවට වැඩම කළ භික්ෂුහු පෙරලා ලක්දිවට වැඩම කළහ. ඔවුන්ගේ පැමිණිමෙන් පසු පර්යාප්ති හා ප්‍රතිපත්ති පිළිබද විවාදයක් උද්ගත විය. මේ පිළිබද පැහැදිළි විස්තර පාලි අට්ඨකථා වල සදහන් වෙයි. පර්යාප්ත හා ප්‍රතිපත්ති යන දෙක අතුරින් වඩා ශ්‍රේෂ්ට කුමක් දැයි භික්ෂුන් අතර සාකච්ඡාවට භාජනය වූයේ ය. මීට පෙර පැවති අදහස් වලට වඩා වෙනත් අදහසක් පෙරට ආ බව දක්නට ලැබෙ යි. පර්යාප්ති පිළිබද අදහස් ඉදිරිපත් කළ අය පාංසුකූලිකයෝපරාජය වූහ.

ථෙරවාදය බෞද්ධ සම්ප්‍රධාය පළමු වරට විනයට වඩා ධර්මයට තැන දුන් අවස්ථාව ලෙස මෙහි සැලකිය යුතු වෙයි. මිහිදු මිහිමියන් පවා වදාළේ ධර්මය ලක්දිව මුල්බැස ගැනීමට නම් පළමුව විනය ඉගෙන , එය ඉගැන්විය යුතු බවයි. උන් වහන්සේ වැඩම කළේ ධුතාංධාරීන් බහුල ව වාසය කළ ප්‍රදේශයකිනි. ඉහත සදහන්  විවාදයේ දී ප්‍රතිපත්ති අංශය පැරදී පර්යාප්ති අංශය ජය ගැනීම නිසා සිදු වූ ආකල්ප විපර්යාස ශාසන ඉතිහාසයේ ඉතා වැදගත් කරුණක් ලෙස හැදින් විය හැකි ය.


සග සසුනේ ගමන් මග වෙනස් වීම


 වළගම්බා රජු මහාතිස්ස තෙරුන්ට අභයගිරි විහාරය පෞද්ගලිකව පූජා කිරීම හා ඒ විහාරයේ ආරම්භය ශ්‍රී ලංකා ශාසන ඉතිහිසයේ වැදගත් අවස්ථාවක් නිරූපණය කරයි. පහත සදහන් කරුණු මත එම වැදගත් කම  විනිශ්චය කළ හැකි ය.


අභයගිරි විහාරය ගක් සග පරපුරේ ප්‍රකට භේදයක් ඇති කළෙ ය.අනුරාධපුර  මහාවිහාරය කේන්ද්‍රීය කරගෙන සංවිධානය වූ ලාංකික භික්ෂු පරපුරක් සංවිධානය විය.ඇතැම් ඉපරණි බෞද්ධ චාරිත්‍ර - වාරිත්‍ර හා සම්ප්‍රධායෝ වෙනස් කිරීම් කිරීම් වලට භාජනය වූහ. 


ලක්දිව භික්ෂු පරපුර කෙලින් ම දේශපාලන කටයුතු වලට සම්බන්ධ වීම - දුයුගැමුණු  රජු  යුද්ධයට ගිය අවස්ථාවෙහි යුද පෙරමුණේ භික්ෂුන් 500 ක් වැඩම කළ බව මහාවංසය සදහන් කරයි. වළගම්බා රජු හා සෙනෙවියන් අතරඇති වූ භේදභින්නතාව සමථයකට ගෙන ඒම සදහා මහාතිස්ස හිමියන් ඉදිරිපත් වීමෙන් මෙය ආරම්භ විය.

එසේම රජුට ආරක්ෂාව සැලසීමට ක්‍රියා කිරීමෙන් ද තණශිව වැනි ප්‍රදේශාධිපතිවරුන් හා කාය බලධාරී තරුණයන් සොයා රජුට සම්බන්ධ කිරීමෙන් ද උන්වහන්සේ ‍දේශපාලන කටයුතු වලට කිට්ටුවන්න වූ බව දක්නට ලැබෙයි .මේ ක්‍රමය වර්ධනය වූයේ අභයගිරි විහාරයේ මූලික ලක්ෂණයක් වශයෙන් සාමාජික ප්‍රශ්ණ කෙරෙහි විශේෂ අවධානයක් හා අවධිකමක් ඇති වීමෙනි.


(11) අභයගිරියේ ආරම්භය නිසා  ගිහි- පැවිදි සබදතා නව ආකාරයකට ගොඩනැගුණේ ය. මහාවිහාරය ‘කුල සංඝට්ඨවීම’ යනුවෙන් හදුන්වාදුන් තත්ත්වය අභයලිරි විහාර පාර්ශවයේ සම්ප්‍රධායේ අනුමැතිය ලත් බව දක්නට ලැබෙයි. මේ නිසා ඒ භික්ෂු පිරිසට ලාභ සත්කාර බහුල විය.


(111) අභයගිරි විහාරය පූජාවට පෙර පැරණි ලෙන්ගුහා ආදිය පූජා කිරීම පිලිබද ව සලකන කළ ඒවා පෞද්ගලික අයිතියට මුල් තැන දී  සිදු කරන ලද පූජා සේහැදින්විය නො හැකිය. සිවුදිගින් වඩනා මහ සගනට පිදීම සිරිත විය. එහෙත් ප්‍රථම වරට පෞද්ගලික අයිතිය යටතේ ආරාමයක් පූජා කිරීම සිදු වූයේ වලගම්බා රජු අභයගිරිය පිදීමේ  අවස්ථාවේ දීය.  මහාවිහාරය මීට විරුද්ධ වීමේ හේතුව එය විය හැකිය.


3. අභයගිරියේ ආරම්භය නිසා නව චින්තාවන්ට  හා නිකායාන්තරික මතවලට දොරටුව විවෘත වීමක් ඇති වුයේ ය. අභයගිරිය මුළුමනින් ම මහාවිහාර සම්ප්‍රධාය ප්‍රතික්ෂේප කළ බවක් හෝ මෙයින් අදහස් නොකෙරේ. අභයගිරිවාසීහුද මහාවිහාරීය සම්ප්‍රධාය මෙන් ම මූලික ත්‍රිපිටක ධර්මය ද පිළිගත්හ. එසේ වුව ද දාර්ශනික වශයෙන් මහා විහාරයට වඩා විවෘත ආකල්පයක් මත අදහස් දක්වමින් වාසය කරන්නට ඔවුහු  විදේශ වලින් මෙහි පැමිණ නිකායාන්තරික මතවාද වලට සිය මධ්‍යස්ථානයේ ඉඩකඩ සලසා දුන්හ. 


ස්වාදීන මධ්‍යස්ථානයක්


ඉන්දියාවේ සිට පැමිණි වජ්ජිපුත්තක නිකායේ ධම්මරුචි හිමියන්ගේ අදහස් අභයගිරිවාසී භික්ෂුන් වහන්සේ පිළිගත් බව බොහෝ ඉතිහාස විචාරකයන්ගේ මතය වී ඇත. ආරම්භක අවස්ථාවේ සිට ම මහාවිහාරික භික්ෂුහු වෛතුල්‍යවාදයට විරුද්ධව දැඩි ව්‍යාපාරයක් ගෙන ගියහ. එසේ වුවද අභයගිරිකයන්ට විරුද්ධව මතවාදී  අරගලමය ව්‍යාපාරයක් ආරම්භ කළ බවත් දක්නට නොලැබෙයි. ඒ නිසා ධම්මරුචිවාදය මහාවිහාරයට එතරම් අභිමත වී යයි සිතිය නොහැකි ය.                 


     
වජ්ජිපුත්ත්‍රකයෝ ථෙරවාදයේ ම අනුනිකායක යෝ ය. සම්මිතීයයෝ ද ඔවුන්ගේ ශාඛාවක අය වෙති. මේ නිකාය දෙකම පුද්ගලවාදීන් බවකථාවත්තුපුපකරණයෙහි දැක්වෙ යි. එහෙත් ධම්මරුචි නිකාය පුද්ගලවාදය පිළිගත් බවට සාධක නැත. විසුද්ධිමග්ග ටීකාව ආදියෙහි අභයගිරික මත ලෙස  දැක්වෙන අදහස් ථෙරවාදය හා කෙලින්ම ප්‍රතිපක්ෂ වන ඒවා නොව විසුතර වශයෙන් සුළු සුළු වෙනස්කම් ඇති කරුණු ය. මේ නිසා පුළුල් වශයෙන් සලකන කළ අභයගිරිකයෝ ශ්‍රාවකයානීන් වශයෙන් ම සැලකිය යුතු වෙයි. බොහෝඋගත්තු අභයගිරිය දාර්ශනික මතවාද විවෘතව සාකචුඡා කළ මධ්‍යස්ථානයක් වුව ද ථෙරීය සම්ප්‍රධාය පිළිගත් මූලධර්ම වලින් පිටපැන අමුතු දර්ශනයක් ඉදිරිපත් නොකළේ ය.


වජ්ජිපුත්‍රක යන වචනය භාවිත කළ ද එම ප්‍රයෝගය ඇත්තට ම යථා තත්ත්වයට අනුරූපි දැයි ප්‍රශ්ණ කිරීමට ද ඉඩ තිබේ. වෛතුල්‍ය යන වචනය මෙන් ම වජ්ජිපුත්‍රක යන්නද ලක්දිව උගතුන් පිළිකුලෙන් ම යෙදූ වචනයක් බව පැහැදිළි ය. එය සුවකීය ප්‍රතිපාක්ෂිකයන් ට නිගා පිණිස මහා විහාරිකයන් යෙදූවකි’යි සිතිය හැකි ය. 


මතවාද


 භාතිකාභය රාජ්‍ය සමයේ දී මහාවිහාරය හා අභය ගිරිය යන දෙපක්ෂය අතර විනය කරුණක් පිළබද ව වාදයක් හටගත්තේ ය. එය නිරාකරණය කිරමට භාෂා සාස්ත්‍ර හදාළ ප්‍රවීන පඩිවරයෙකු ලෙස හැදින්වෙන දීඝකාරායන ඉදිරිපත් වූයේ ය. මෙය විනය කරුණක් පිළිබද ව අර්ථකතනය සැපයීමේ ප්‍රශ්ණයක් වන්නට ඇත. මේ දෙපිස අතර මෙ ලෙස  උද්ගත වූ මතවාද සමූහයක් ගැන අපේ  වංශකථා වාර්ථා කරයි.


උපසම්පදාවේ දී මවු කුස විසූ කාලයෙන් ද ගෙන අවුරුදු විස්ස ගණන් කිරීමෙ සිරිත මහාවිහාරයේ පැවතිණි. අභයගිරි භික්ෂූහු එය නොපිළිගත්හ. ඇත්දත් සහිත විජිනිපත්  භාවිතය ගැනද මොවුන් අතර මතභේද පැවතියේ ය. මුල් යුගයේ දී මහාවිහාරය හා අභයගිරිය අතර පැවති මතවාද මෙබදු සුළු විනය ප්‍රශ්ණ පිළිබද වූ ඒවා බව සිතිය හැකි ය. ධර්මය පිළිබද  වාද භේද ඇති වූයේ පසුව විය හැකි අතර මුල් යුගයේ දෙපිරිස අතර නිතර නිතර වාද විවාද  අරගල සිදු නොවන්නට ඇත. රජවරු ද දෙපක්ෂයට ම සම සේ සංග්‍රහ සිදු කළහ.


වෛතුල්‍යවාදය 


ලංකාවේ වෛතුල්‍යවාදය පිළිබද ව පළමු වරට අසන්නට ලැබුනේ වෝහාරික තිස්ස (ක්‍රි.ව. 263-285) රාජ්‍ය සමයේ දී ය. මේ වෛතුල්‍යවාදීන් කවුරුන් දැයි පැහැදිළි කර ලැනීමට උත්සාහ ගත් උගත්තු ‘වෛතුල්‍ය’ යන  වචනය ‘වෛපුල්‍ය’ යන්නට සමාන ලෙස ගෙන එය මායාන බුදුසමය ලෙස පිළගනිති.  මහායාන බුදුසමයට අදාළ ධර්ම ග්‍රන්ථ අධ්‍යනය කළ උගතුන් පෙන්වා දුන් පරිදි සද්ධර්මපුණ්ඩරීක සූත්‍රයේ පැරණි පිටපත් වල ‘වෛපුල්‍ය’යන්න ‘වෛතුල්‍ය’ යනුවෙන් යෙදී තිබේ. ඒ අනුව ‘වෛතුල්‍යවාදය’ ලෙස ලංකාවට පැමිණියේ මහායාන බුදුසමය බව නිසැක වශයෙන් පිළිගෙන තිබේ. ආචාර්ය අසංග පාදයෝ  සිය අභිධර්ම සමුච්චයෙහි ලා ‘වෛතුල්‍ය’ හා ‘වෛපුල්‍ය’ යන පද සමාන බව පවසති. බුද්ධඝෝෂ හිමියො‍ පඤ්චප්පකරණ අට්ඨකථා වලදී වෛතුල්‍යවාදීන්ගේ ඉගැන්වීම් ලෙස පහත සදහන් මත විශේෂ කොට දක්වති.


(අ)  ගෞතම බුදුරජාණන් වහන්සේ මනුෂ්‍ය ලෝකයෙහි නූපන් සේක. උන් හන්සේ තුසිත දිව්‍ය ලෝකයේ වැඩ වසමින් මනුෂ්‍ය  ලෝකයට අවතාරයක් හෙවත් නිර්මිතකයක් එවූහ. බුද්ධ චරිතය පවසන ,  සංස්කෘත භාෂාවෙන් ලියවුණ ලලිත විස්තරයෙන් හා මහාවස්තුවෙන් මේ කරුණ අවධාරණය කොට දක්වා ඇත.


(ආ)  බුදුරජාණන් වහන්සේ තමාම ධර්මය දේශනා නොකලහ. ධර්මය දේශනා කළේ නිර්මිත කාය යි. හෙවත් නිර්මිත බුද්ධ කායෙන් ධර්මය උගත් ආනන්ද හිමියෝ ය. 


(ඇ)  බුදුරජාණන් වහන්සේ කිසිවක් නො වළදති. ශ්‍රාවක ජනයා පිරිනමන දෑ පිළිගන්නා බව පමණක් අගවති. උන් වහන්සේ මිනිසුන් විසින් පවත්වනු ලබන යාම් - ඊම් ආදී ඉරියව් පවත්වනු ලබන්නේ හුදෙක් ලෝකානු වර්තනය සදහා පමණි.


මේ අදහස් ලලිත විස්තරය වැනි මහායානික ග්‍රන්ථ වල විචිත්‍රතාවෙන් යුතුව දක්වා ඇත. ලලිත විස්තරයේ  දැක්වෙන බුද්ධ චරිතය බුදුන් වහන්සේ මනුෂ්‍ය ලෝකයට එවූ ලලිතය හෙවත් ක්‍රීඩාව පිළිබද විස්තරය කි. 


        මේ ධර්මය ලංකාවට ගෙන ආ සැනින් ඊට සෑහෙන ජන ප්‍රසාදයක් ලැබුණු බව දක්නට ලැබේ. එහෙත් රජතුමා මෙහි දී අළුත් ඉගැන්වීම් වල සත්‍යාසත්‍යතාව පරීක්ෂා කිරීමට ඉදිරිපත් විය. එය ධර්ම - අධර්ම පරීක්ෂාවෙ හි නිපුණ ඇමති වරයකු ලවා කරවී ය.මෙහිල‍ා රජතුමා ඉදිරිපත් වීම වැදගත් වෙයි. මහින්ද ශාසනික ආරක්ෂාව පිළිබද ව ඔහු දැරූ වගකීම ප්‍රකට වන හෙයිනි.


 නව ධර්මයට පක්ෂපාතී වූ භික්ෂූන් වාසය කලේ අභයලිරියෙහි වීම වැදගත් ය. අභයගිරිය දාර්ශනික වූත්, ආගමික වූත් අළුත් අදහස් ඉවසන සුළු තත්ත්වයක පැවතියේ ය. එය එක්තරා ආකාරයක දාර්ශනික මධ්‍යස්ථානයක් වශයෙන් වර්ධනය වෙමින් පැවති ආයතනයක් ද විය යුතු ය. ටික කළක් යාමේ දී එය ජාත්‍යන්තර වශයෙන් ද වැදගත් වන අධ්‍යාපන මධ්‍යස්ථානයක්  වී තිබූ බව  පැහැදිලි ය. සුප්‍රකට චීන දේශාටක ෆාහියන් ථෙර වසර දෙකක් වාසය කළේ අභයගිරි විහාරයෙහි ය.

උන් වහන්සේ මහිංසාසික විනය රැගෙන ගියේ අභයගිරියෙ නි. මේ කරුණු සිය ගමන් විස්තයෙහි නිවරදිව සටහන් කොට ඇත. ඒ අනුව මුත දී මහාවිහාරයට තිබූ ජාත්‍යන්තර ප්‍රසිද්ධිය පසුව අභයගිරිය වෙත නැඹුරු වී ඇත. කෙසේ වුව ද රජු විසින් පත් කරනු ලැබූ ඇමති වරයා වෛතුල්‍යවාදය අධර්මයක් ලෙස තීරණය කළ අතර රජතුමා එයට නිග්‍රහ කොට පොත් ගිනිබත් කරවී ය. බෞද්ධයන් සාමාන්‍යයෙන් සහනශීලි වුව ද මෙහි දී ඒ ප්‍රතිපත්තිය වෙනස් ව තිබීම සැලකිය යුත්තකි. මුල දී ධර්ම රුචි අදහස් පැමිණි අවස්ථාවෙ ඊට  විරුද්දව මෙ ලෙස ක්‍රියා කොට ඇත. ‍


මහිංසාසක මත


මහිංසාසික නිකාය මත ද ලංකාවේ තුබූ බව පෙනේ. ජාතක කථා අටුවාව ලිවීම ටආරාධනය කරනු ලැබූයේ ද මහිංසාසක නිකායිකයන් විසින් බව පෙනේ. ෆාහියන් මහිංසාසක විනය චීනයට රැගෙන ගියේ ලංකාවෙ නි. මේ අදහස් දැරූ අය ලංකාවේ වාසය කළා නම්ඒ අය විය යුත්තේ අභයගිරියේ ය. එහෙත් ඒ පිළිබදව මහාවිහාරය හෝ වෛතුල්‍යවාදයට මෙන් දැඩි පියවරක් ගෙන නොමැත. සමහර විට ශ්‍රාවකයානික  සම්ප්‍රධායක් ඉවසූ අතර මහායානික සම්ප්‍රධායන් සෑඓන තරම් ථෙරීය ඉගැන්වීම් වලට පටහැනි යැයි ඔවුන් සිතුවා විය හැකිය.

සංඝමිත්‍ර භික්ෂුව


 මේ අවස්ථාවේ යටපත් කරනු ලැබූ වෛතුල්‍යවාදය යළිත් වරක් ගෝඨාභය රජු දවස (ක්‍රි.ව. 253-266) හිස එසවී ය. මෙවර වෛතුල්‍යවාද පුනරුදයෙ නායකයා වූයේ භූත විද්‍යාවන්හි දක්ෂ වූ සංඝමිත්‍ර නමැති භික්ෂුවයි. මොහු මෙහි පැමිණියේ ගෝඨාභය රජු විසින් වෙර ලකුණ ඔබ්බවා රටින් නෙරපනු ලැබූ වෛතුල්‍යවාදී භික්ෂුන් දැක එහි පලිය මහාවිහාරිකයන්ගෙන් ගනිමැ’යි දිවුරුම් දී බව සදහන් වෙයි.

මෙයින් ප්‍රකට වන්නේ ගෝඨාභය රජු මහායාන බුදුසමයට දැඩිව විරුද්ධ වූ බවය. එහෙත් මෙහි පැමිණි සංඝමිත්‍ර භික්ෂුව උපායෙන් සිත් දිනා ගෙන රජුගේ පුත් කුමරුන් දෙදෙ‍නාට ඉගැන්වීම සදහා අවස්ථාව සලසා ගත්තේ ය. රජුගේ වැඩිමහල් පුත් ජෙට්ඨතිස්ස ගුරුවරයාගේ අදහසට අවනත කරගැනීම පහසු වූයේ ය.රජුගේ ඇවෑමෙන් ජෙට්ඨතිස්ස රජ වූයේ ය. එම කාලය තුල රටින් පිටව සිටි සංඝමිත්‍ර මහාසේන රජපදවියට පත් වහාම ලක්දිවට පැමිණි යේ ය.

 සංඝමිත්‍ර සිය අරමුනු ඉටු කර ගැනීමට නො නවත්වා උපක්‍රම යෙදී ය. මහාවිහාරයට නොනහත්වාම හිරිහැර පැමිණිම සිදු විය. මහාවිහාරයට දාන-මානාදිය දීම නීතියෙන් තහනම් කර න ලදි. විහාරයට අයත් ගොඩනැගිලි බිද හෙලා එහි තුබු උපකරණ ආදිය අභයගිරියට ගෙන යන ලදි. මහාවිහාරවාසී භික්ෂුහු ආරක්ෂාව පතා රෝහණ දේශයට පලා ගියහ. එහෙත් ඒ තත්ත්වය වැඩිකල් නොපැවැත්විණි. පොද් මහජනතාවගේ ප්‍රබල විරෝධය රජුටත්, සංඝමිත්‍රටත්, සෝණ ඇමතියා වෙතත් එල්ල විය.

රජුගේ කුළුපග මිත්‍රයකු වූ මෙඝවන්ණා ඇමතිවරයා ද රජුට විරුද්ධව ජනතාවගේ නායකත්වය ගත්තේ ය. මොවුහු රජුට විරුද්ධ ව යුද්ධ ප්‍රකාශ කළහ. එහෙත් නියමිත යුද දිනට පෙර දින රාත්‍රියෙහි රජු හමු වූ මේඝවන්ණාභය ඇමතිවරයා පැවැත් වූ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් වශයෙන් රජුගේ මහාවිරෝධී ක්‍රියා පිළිවෙලෙහි වෙනසක් ඇති කරවා ගෙන මහාවිහාරය යලි ගොඩනාවන්නට සමත් වූයේ ය. මහාජන විරෝධය කොතරම් ප්‍රභල වීද යත් සෝණ හා සංඝමිත්‍ර මරා දමනු ලැබූහ. 


සාගලික නිකාය


මහාසේන  රාජ්‍ය අවධිය වන විට සාගලික නමින් තුන්වැනි නිකායක් ද ශ්‍රි ලංකවේ ඇති වී තිබිණි.  ගෝඨාභය රජු දවස අභයගිරියෙන් වෛතුල්‍යවාදී  මත හිස එසවීමත් සමග ම ලංකාවේ නිකාය බේදය පිළිබ ඉතිහාසයේ තවත් වැදගත් කරුණක් සිදු විය. එනම් නව නිකායක ආරම්භය යි. නිකාය සංග්‍රහය එය   වාර්ථා කරන්නේ මෙසේ යි. 

“අභයලිරිවාදීහු යළිදු  වෛතුල්‍යවාද ගෙන බුද්ධභාෂිත යයි දැක් වූහ. එ කලට එයින් උස්සිලියාතිස්ස නම් මහතෙර කෙනෙකුන් වහන්සේ ව්‍යවහාර තිස්ස රජු දවස වෛතුල්‍යවාදිය ගත් භික්ෂුන් වහන්සේට නිග්‍රහ කළ පරිදි අසා යලිදු විචාරවත් රජෙකු දවස එලෙස වුව යහපත් නොවෙයි. අපි ඔවුන් හා එක් නොවෙම් හයි සග තුන්සියයක් දෙනා හැරගෙන දකුණු ගිරිය වෙහෙරට ගොසු ධම්මරුචි නිකායෙන් වෙන් ව විසූහ.

ඔවුන් කෙරෙන් සාගල නම් මහතෙර කෙනෙක් එහිම හිද ආගම ව්‍යඛ්‍යාන කලහ. එතැන් පටන් ඔවුන් අතවැසි එහි වසන භික්ෂුහු එම නමින් සාගලිය නම් වුවහ. මෙසේ සජාගලිය නම් නිකායෙන් බුදුන් පිරිනිවී සත්සිය පසු අනූ අවුරුද්දක් ගිය පසු ගොළු අබා රජු දවස ධර්ම රුචි නිකායෙන් භින්නව දකුණු ගිරි වෙහෙර සඤ්චාත විය.”


මෙ ලෙස හට ගත් සාගලිය නිකාය ලක්දිව භික්ෂු සංස්ථාව තුළ හටගත් තුන් වැනි නිකාය වෙයි. මේ අනුව ලක්දිව බිහි වූ නිකාය තුනකි. මහාවිහාරය, අභයගිරිය හා ජේතවනය යනු ඒ තුනයි. මහසෙන් අවධියෙන් පසු අභයගිරිය පෙරට වඩා ජනප්‍රියත්වය ලබා ඇත. 

දළදා වහන්සේ 


 කිත්සිරි මෙවන් රජු දවස (ක්‍රි.ව. 303- 331) දලදා වහන්සේ ලක්දිවට වඩම වන ලදහ. දළදාි වහන්සේගේ භාරකත්වය අභයගිරියට හිමි විය. කිත්සිරි මෙවන් රජු විසින් රජවාසලෙහි ධම්මචක්කගේහ  නමැති දළදා මැදුර තනවා , දළදාව එහි වඩා හිදුවා මහත් සේ පුද පූජා සිදු කරවන ලදි. වාර්ශිකව දළදා උත්සවය පවත්වන ලදි. වර්ෂයක් පාසා දළදාව අභයගිරියට වැඩම කරවා එහි දී මහජන ප්‍රදර්ශනයට තබනු ලැබිණි. වාර්ශිකව සිදු වූ මේ වාර්ශික  ප්‍රදර්ශනය හා උත්සවය අභයගිරිය කෙරෙහි ජනප්‍රසාදයට යොමු කරවන මහත් ආධාරකයක් වූවාට සැක නැත. 


ධර්මධාතුව


සිලාකාල රජු දවස (ක්‍රි.ව. 522 - 535) මහාවිහාරයත් සෙසු නිකාය දෙකත් අතර මතවාදයකට හේතුබූත කරුණක් යෙදුණි. එ නම් පූර්ණ නමැති තරුණයකු විසින් ධර්ම ධාතුව නමින් හැදින්වුණු ග්‍රන්ථයක් ගෙන එන ලදුව එය අභයගිරි - ජේතවන දෙ නිකාය විසින් පිළිගැනීමයි. මහාවිහාරය මීට සපුරා විරුද්ධ විය. මේ ග්‍රන්ථය ජේතවනයෙහි තැන්පත් කරන ලදි. අභයගිරිකයෝ එහි තැන්පත් කිරීමට මූලික වූහ. ආරමුභයේ දී ජේතවනිකයෝ ධර්ම ධාතුව පුද සත්කාර පැවැත්වීමට කැමති නොවූහ.  අභයගිරිකයෝ ඒ සදහා ජේතවනිකයන් පොළඹවා ගත්හ.

 “අභයගිරිවාසීහුද කරුණු කියා ගිවිස්වා ,  පැහැයෙන් එක්වැනි හෙයින් දඹ යැයි දක්වා බාල දරුවන් කරුවණුවන් කවන අධමයන් සේ දෙනා වෙහෙර ( ජේතවන විහාර) වැසි අඥාන මහණුන් ලවා සත්කාර කරවූ හ.”  (නිකාය සංග්‍රහය)

කෙසේ වුව ද අභයගිරි - ජේතවන දෙ නිකායිකයන් එ ක්ව ාමාලස මහායාන බුදුසමයට අනුග්‍රහය දැක් වූ විට ඊට ප්‍රබල විරෝධයක් දැක්වීමට මහාවිහාරය සමත් වී නැත. අභයගිරිය වරින් වර රාජානුග්‍රහ ද ලබමින් ප්‍රභල නිසා මේ අවස්ථාව වන විට මහාවිහාරයේ ශක්තිය යටපත්ව පවතින්නට ඇත. එ බැවින් ඔව්හු ධැර්මධාතු පූජාවට සහබාගී නොවීමෙන් පමණක් විරෝදය පෑහ. අනුක්‍රමයෙන් අභයගිරියත්, ජේතවනයත් මහාවිඑාරය අභිබවා නැගී සිටියේ ය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් අභයගිරි - ජේතවන දෙ නිකායේ ශක්තිය මැඩලීමට පළමු වැනි අග්බෝ රජු (ක්‍රි.ව. 575 - 608) දවස භාරතීය තාර්කිකයකුගේ  සහය ලබා ගැනීමට මහාවිහාරික භික්ෂුන්ට සිදු විය.

මේ කාර්යය සදහා භාරතයෙන් වැඩම කළේ ජෝතිපාල හිමිපාණෝ ය. ජෝතිපාල හිමියෙ‍ා සාර්ථ පරිද්දෙන් යෛවතුල්‍යවාදී මත ඛණ්ඩනය කෙනෙකුට මහාවිහාරීය මතය මණිඩනය කළ බව මහාවිහාරය වාර්ථ‍ා කරයි. මේ ජයග්‍රහණයෙන් පසු අභයගිරි ජේතවන යන දෙ නිකායෙහි ම භික්ෂුන් නිහතමානීව මහාවිහාරවාසීන්ට අවනතව විසූ බව නිකාය සංග්‍රහය සදහන් කරයි.

“ඉක්බිති දඹදිවින් බට ජෝතිපාල නම් ආචාර්ය මහා ස්ථවිර කෙනෙක් වෛතුල්‍යවාදීන් මර්ධනය කොට තමන් දවස ලක්දිව තෙලෙහි වෛතුල්‍යවාද නොපවත්නා සේ නිඃශෝක කලහ.”

අභයගිරිය වරින් වර ස්මතු වෙමින් ද , යටපත් වෙමින් ද පැවත ආ බව ඉතිහාසයෙන් ප්‍රකට වෙයි. මෙවර නිහඩතාවක නියළුණු අභයගිරිය හා ජේතවනය දෙ වැනි අග්බෝ රජු දවස (ක්‍රි.ව. 608- 618) නැවත හිස එසවීය. අග්බෝ රජු මේ විහාර දෙකට සුවිශේෂ සැලකිළි දැක් වූ අතර මහාවිහාරය සතු ථුපාරාමය ගරා වැටුණු කළ එය ප්‍රතිසංස්කරනය කළ යුතු විය. එහෙත් එය මග හළ රජු ථුපාරාමයේ නිදන්කොට තිබූ අකුධාතූන් වහන්සේ ලෝවාමහා ප්‍රාසාදයට වැඩම කර වූයේ ය. රජු ථූපාරාමය ප්‍රතිසංස්කරණය කළේ බියකරු සිහින දැකීමෙන් පසුව ය.

ශිලා මේඝවණ්ණ රජු දවස (ක්‍රි.ව. 623-632)අභයගිරි නිකායික භික්ෂුන් අතර සිදු වූ අර්බුදයක් පිළබද ව මහාවංසය වාර්ථා කරයි. මෙහි සත්‍යාසත්‍යතාව විනිශ්චය කිරීමට අභයගිරික වාර්ථා  නොමැත. එ බැවින් විරුද්ද පාර්ශ්වීය වාර්ථාව හුදෙකලාව සලකා බැලීම‍ට සිදු වෙයි.

“පැවිද්දෙන් නවකයකු වූ අභයුත්තර වෙහෙර වැසි බෝධි නම් භික්ෂුවක් තම අරමෙහි  විසූ බහුල වූ දුසිලවුන් දැක රජු වෙත එලඹ ධර්ම කර්මයක් කරවන ලෙස අයැද සිටියේ ය. රජ එම කාර්යය බෝධි භික්ෂුවට ම පැවරීය. මෙහි දී එකතුව කුමන්ත්‍රණය කළ අභයගිරි වැසි දුසිල් භික්ෂුහු බෝධි භික්ෂුව මැරූහ. හයින් ධර්ම කර්මය කර්මය ඇණ හිටියේ ය.

මෙය අසා කෝපයට පත් රජ ඒ දුසිළුන් සියල්ලම අල්වා අත් කප්පා විලංගු ලවා නාන පොකුණු ඉර කිරීමට යෙදවී ය. එ පමණකින් නොනැවතුන රජ තවත් අභයගිරි භික්ෂුන් සියයක් රටින් පිටුවහල් කොට ශාසන ශෝදනයක් ද කරවීය. එසේ අභයගිරිය දුසිළුන් බැහැර කොට පිරිසිදු කළ රජ අනතුරුව අභයගිරිකයන් හා එක්ව උපෝසථ කිරීම කරන ලෙස මහාවිහාර භික්ෂුන්ගෙන් ඉල්ලා සිටියේ ය. එහෙත් මහාවිහාර භික්ෂුහු එය ප්‍රතික්ෂේප කලහ.”           (මහාවංසය 42, 75 - 80)

මේ මහාවංස ප්‍රකාශය නිවරදි නම් අභයගිරි වෙන් වූ  පසු සංඝ සාමග්‍රිය ඇතිකිරීමට ගනු ලැබූ ප්‍රථම ප්‍රයත්නය මෙය වෙයි. එය නිෂ්ප්‍රභ වී ඇත.
දෙ වැනි දාඨෝපතිස්ස  රජ (ක්‍රි.ව. 659-667) අභයගිරියෙහි කපුරු පිරිවෙන ආදී  ආවාස කරවී ය. ඒ අවස්ථාවෙහි දී මහාවිහාරීය භික්ෂුහු මහාවිහාර සීමා තුළ ආවාස ඉදි කිරීම පිළිබද සිය විරෝධතාව දැක් වූහ. එය නොතැකූ රජුට මහාවිහාරීය භික්ෂුහු පත්තනික්කුජ්ජන කර්මය (අශ්‍රද්ධාවත් දායකයන්ගේ සිවුබසය ප්‍රතික්ෂේප) කලහ. පසුකළ ‘තපාරාමූල’නමැති භික්ෂු  මූලස්ථානය මෙයින් ඇතිවන්නට ඇත.


මහාසාංඝිකයෝ


පළමු වැනි සේන රජු  දවස (ක්‍රි.ව. 833- 853) ප්‍රථම වරට ලක්දිව මහාසාංඝික නිකායික භික්ෂුන් පිළිබද අසන්නට ලැබෙයි. සේන රජතුමා අභයගිරියෙහි වීරාංකූර නමැති විරාරය කරවා මහාසාංඝික භික්ෂූන්ට ද , ථෙරවාද භික්ෂුන්ට ද පැවරූ බව මහාවංසය කියයි. ථෙරවාද භික්ෂුන් පිළිබද කථාවක් මෙහි නැත. ථෙරවාදින්ට ද පිදී යයි කියනු ලබන මේ අරම අභයගිරියෙහි කරවීමත් එය මහාසාංගික හා ථෙරවාද යන දෙපාර්ශයන් ට පොදුවේ පිදී යයි පැවසීමත් සැකය දනවන්නකි.

එහෙත් අභයගිරි භික්ෂුහු ථෙරවාදීහු මය. මහාවිහාරයෙන් වෙන් වුව ද ඔවුන්ගේ මුල සිද්ධාන්ත සියල්ල ථෙරවාද විය. අභයගිරිය සෙසු මතවාද වලට ද ඉඩ කඩ සැලසූ බව මහාසාංඝික නිකායන්ට ද එහි වාසය සදහා අවස්ථාව සලසන්නට ඇත.


පංසුකූලිකයෝ


දෙවන සේන රජු දවස අභයගිරි භක්ෂූන් අතරින් පංසුකූලික භික්ෂු පිරිසක්  එයින් වෙන් ව අමුතු ගණයක් වූහ’යි මහාවංසය කියයි. අභයගිරිය පමණක් කොව මහාවිහාරය ද පංසුකූලික භික්ෂුහු වූහ. අබයගිරික පංසුකූලික භික්ෂුහු අනුරපුරට බටහිරින් වූ පියංගල වෙහෙර විසුහ. මහාවිහාරික පංසුකූලිකයෝ ථුපාරාමයෙහි වාසය කළහ. මේ ස්ථාන දෙකෙහි භාවනානුයෝගීන්ගෙ නිවාස බවට දෙස් දෙන ගොඩනැගිලි දක්නට ලැබෙයි. මේ ආයතන භික්ෂු ගණ හෙවත් ‘මූළ’ ලෙස හදුනා ගත හැකිය.  පස්වැනි කාශ්‍යප රජු (ක්‍රි.ව. 914-923) අභයගිරි නිකායට අයත් විහාරාරාම පාලනය සදහා පනවන ලද නීති පදුධතියක් අනුරාධපුර පුවරු ලිපියේ  දක්නට ලැබෙයි. මෙහු නිකාය තුනට ම සම ව සංග්‍රහ කළේය. දුසිල් මහණුන් ධර්ම කර්මයක් මගින් බැහැර  කරවීය.


සතර වැනි මිහිදු රජු (ක්‍රි.ව. 956-972) තුන්නිකායේ භික්ෂුන්ටම සම සේ අනුග්‍රහ කළේ ය. එහෙත් අභයගිරියෙහි ධර්මරුචි නිකාය ජනාදරයට පාත්‍රව සිටි බව මිහිදු රජුගේ ජේතවනාරාම ලිපියෙන් සිතා ගත හැකිය.

“ධර්මරුචි නිකාය මහ සයුරකි. මේ මහා සයුරෙහි ග්‍රන්ථ නමැති නාගයෝ වෙසෙති. ව්‍යක්තයන් නමැති ගුරුලෝ නුවණ නමැති පියාපතින් ඒ මහ සයුරෙහි රළ දෙබෑ කොට ඉහත කී ග්‍රන්ථ නමැති නාගයන් ඩැහැ ගනිති. මේ ධර්මරුචි නිකාය නමැති සයුර ධර්මධරයන්ගේ ධර්ම ව්‍යාඛ්‍යානය නමැති ඝෝෂාවෙන් නිතර ගිගුම් දෙයි. අපිස් සතොස් ගුණයෙන් හෙබි චතුර ආචාර්යවරයන් නමැති මහා මත්සයන්ගෙන්  එම සයුර හෙබියේ ය.”


 මේ සදහන් පරිදි අනුරාධපුර යුගයෙහි අවසානයෙහි ද තුන් නිකාය ද පැවත ඇත. කෙසේ වුවද මහා විහාරයත් , අබයගිරියත් වරින් වර ඉස්මතු ව දිළුණේය.ඉහත සදහන් ප්‍රකාශය අනුව අභයගිරිය ඇසුරෙහි පැවති ධර්ම රුචි නිකාය අනුරාධපුර යුගයේ අවසාන සමයේ කැපී පෙනෙන තත්ත්වයක පැවත ඇත.

පොළොන්නරු යුගයෙහි ආරම්භයෙහි රජ පැමිණි මහා විජයබාහු   රජ (ක්‍රි.ව. 1056-1111) නිකායත්‍රයටම පොදුවේ සැලකිලි සම්මාන දැක් වූයේ ය. ශිලාමේඝවණ්ණ රජු දවස තුන්නිකාය සමගි කරවීමට ගත් ප්‍රයත්නය මහිවිහාරික භික්ෂුන්ගේ දැඩි නොකැමැත්ත හේතුවෙන් නිෂ්ප්‍රහ වූයේ ය. ඉන් පසු රජ පදවියට පත් සියළු රජවරු තුන්නිකායට ම වෙන වෙන ම උපකාර කලහ. එහෙත් නිකාය තුන සමගි කරවීමෙහි ප්‍රයත්නයක් නොදැරූහ. එනමුත් මහා පරික්‍රමබාහු රජතුමා (ක්‍රි.ව. 1153-1186) විසින් ගනු ලැබූ ප්‍රයත්නය අත්‍යන්තයෙන් සාර්ථ වූයේ ය. 


නිකාය සාමග්‍රිය


දුටුගැමුණු මහා නරවරයාගෙන් පසු පහළ වූ අතිශ්‍රේෂ්ඨ සිංහල වීරයා මහා පරාක්‍රමබාහු රජතුමාය. එතුමා රටත්, ආගමත් සංවර්ධනය කිරීමට ගත් ප්‍රයත්නය සමස්ථ සිංහල වර්ගයාට ම ආදර්ශයකි. එතුමන්ගේන් සසුනට සිදු වූ   ඉතා උසස්ම  සේවාව නම් තුන් නිකාය සමගි කිරීම ය. මෙය ඉතා දුෂ්කර කාර්යයකි. එහෙත් පරාක්‍රමබාහු රජුගේ අනල්ප වූත්, අවංක වූත්  උත්සහය හා දිඹුලාගල කාශ්‍යප ස්වාමීන් වහන්සේගේ උදාර අදහස නිසා කළ හැකි විය. පළමුව මහාවිහාරීය  භික්ෂුන්ගේ ද බක්බිති අභයගිරි ජේතවනවාසී භික්ෂුන්ගෙ ද අසමගිය දුරු කොට අවසානයේ තුන් නිකායික භික්ෂුන්ගෙ ද අසමගිය ඇති කරන ලදි.

ඇතැම් භික්ෂුහු මෙ බදු සමගියක් අනවශ්‍ය යැයි සිතා ඊට විරුද්ධ වූහ. ඇතැම්හු සිවුරු හැර ගියහ. තවත් සමහරු පිටරට ගියහ. සමගියට අකමැති වූ සමහර අය සිවුරු හැර යාමට සලසා විවිධ තනතුරු ප්‍රදානය කරන ලදි.


තුන් නිකායේ සාමග්‍රිය ඉතා දුක සේ සිදු කළ බව වාර්ථා වලින්  ප්‍රකට වෙයි. ඒ පිළිබද ව  මහාවංසය  මෙසේ සදහන් කරයි.


“වළගම්බා රජු දවස සිට අද තෙක් පෙර රජුන් විසින් නොයෙක් අයුරින් උත්සහ ගත්ත ද මේ දක්වා නිකායයෝ භේදව ම සිටියහ. එහෙත් මහ නුවණැති රජ (පරාක්‍රමබාහු) තෙමේ රාජ්‍ය ලබා ගැනීමට ගත් උත්සහය මෙන් දෙගුණයක් දුන් විද යලි එම සමගිය ඇති කළේ ය.” නිකාය සාග්‍රිය පිළිබද මහ පරාක්‍රමබාහු කතිවාතෙහි  දෙ ලෙස සදහන් වෙයි.

“.....................වළගම් අභා මහ රජු දවැස පටන් එක්වා දහස් දෙසිය සූපනැස් හවුරුද්දක් භින්න නිකාය වැ ශාසනය පිරියෙමින් සිටි කල්හි ......... ශ්‍රී සම්බෝධි පරාක්‍රමබාහු මහ රජාණන් සකල ලංකා තලෙහි එක රාජ්‍යසුභානුභාව  කොට වසනුවන් අජ්ඤාන දුර්ජඤාන මූතික අප්‍රතිපත්ති දුෂ්ප්‍රතිපත්ති විෂවේග විහත වැ ආපායාන්ත වන ශාසනාවචර කුල  පුත්‍රයන් දැක ....... විවිධ ගුණගණාගග සගත කොටැ රක්ෂිත වර්ධිත පෝෂිත ශීලස්කන්ධාදී ලෞකික ගුණරත්නාලංකාරයෙන් සමලංකෘත වූ උදුම්බර ගිරි (දිඹුලාගල) නිවාසී මහා කාශ්‍යප මහා ස්ථවිර ප්‍රමුඛ මහාවිහාර වාසී භික්ෂු සංඝයා දැක ඔවුන් වහල් කොටැ දුර්ලබ්ධි මැඩැ ශාසනබල විශෝධා........ මහා ක්ෂිණාශ්‍රවයන් ඇති කල්හි පවා පූර්ව රාජයන් විසින් මහෝත්සාහයෙදුනු සමග නොකොටැගත හුණු තුන්නකා ( නිකාය තුන)සමග කිරීමෙන් එක්නකා (එක් නිකායක්) කොටැ............ මා විසින් මහෝත්සාහයෙන් සාධිත වූ මෙ සංඝ සාමග්‍රිය පස්වා දහසක් අභින්නව පවත්නා පරිද්දෙන් මතුවවන සංඝයා ද අප්‍රමාධවැ ග්‍රන්ථ විදර්ශනා දූරත්වයෙහි යෙදී අල්පේච්ජතාදී ගුණයෙන් යුක්තව වසනා පරිද්දෙන් අවවාදනුශාසනා කොටැ ශාසනය රක්ෂා කළ මැනවැයි.”

මේ සිද්ධිය පිළබද දඹදෙණි යුගයෙහි වැඩ විසූ දිඹුලාගල මේදංකර සංඝරාජ හිමියෝ මෙසේ සදහන් කරති.

“බුදුන් පිරිනිවී සාරසිය  සූපනස් හවුරුද්දෙහි පටන් බිදී එක්වා දහස් දෙ සිය පනස් හවුරුද්දක් තිබූ බුදුසස්න පරාක්‍රමබාහු මහ රජාණන් ඇරගෙන දෙනානක බගිරීනිකය යන අසුද්ධ දෙනකයෙහි විපන්න තැන් හැර ..... ථෙරවාදය ම ගෙන ......... පවත්නා පිරිසිදු තැන් හා  සුද්ධ සංඝයා සමග කොට තුන්නකය සමග කළ දිඹුලාගල මාසුප් මහ තෙරුන් වහන්සේගේ අන්තේවාසික වූ එම නිකාය සාමග්ගියට ආචාරීන් වහන්සේට සහය වී සිටි .........මහත් ග්‍රන්ථයක් කළ සැරියුත් මහ හිමියන් වහන්සේගේ ද සමීපයෙහි විනය පිටකය ද අටුවා ද ටීකා සහිත අසා මේ විය සන්නය අපි ලීම් හ.”

මහාවිහාරයෙන් වෙන් ව ගිය අභයගිරි හා ජේතවන යන පාර්ශ්ව දෙකට මඅයත් භික්ෂුහු අමුතු දහමක් ඉදිරිපත් නොකලහ.  භාරතයේ පහළ වූ විවිධ බෞද්ධ නිකායයෝ සිද්ධාන්තමය මූලික ධර්ම කර්ණක් හෝ කිහිපයක් හෝ නිසා  බෙදුණාහ. එහෙත් ශ්‍රී ලාංකික භික්ෂු පරපුර බුදුරදුන්ගේ ඉගැන්වීම් පිලිබද මූලධර්ම හා කිසිදු ගැටුමක් ප්‍රදර්ශනය කොකරයි.

ඔව්නු අතර පැන නැගුණේ සුළු සුළු විනය කරුණු පිළිබද ප්‍රශ්ණ පමණි. මහාවිහාරයත් අභයගිරියත් අතර දක්නට ලැබෙන මතවාද සියල්ල ම පාහේ සුළු සුළු  විනය කරුණුය. ගැඹුරු දාර්ශනික මත නොවේ . කෙසේ වුව ද මහා විහාරය විනයවාදී සංරක්ෂණ ශිලි පිළිවෙතක් අනුගමනය කළ බව ඉතිහාසය පුරාම දැක ගත හැකිය. අභයගිරි වාසීහු වඩා නිදහස්ව විවෘත මත වලට සවන් දුන් පිරිසක් සේ හදුනා ගැනිමට පුළුවන.

දෙ වන පෑතිස් රජු දවස ඇරඹුණු මහා විහාරය  සියවස් තුනක් පමණ ප්‍රභල රාජානුග්‍රහය ලත් ථෙරවාද මධ්‍යස්ථානය බවට  පත්ව පැවතිණි. එයට විදේශිය  බෞද්ධ ලෝකයා  අතර ද කීර්ති නාමයක් හිමි විය.විදේශීය  ධර්මකාමීහු මහාවිහාරීය භික්ෂුන් සෙවණේ ධර්මය වදළහ. මේ ආධිපත්‍ය දෙදරා යනු දැකීමට මහාවිහාර භික්ෂුහු කිසිසේත් කැමති නොවූහ. කාලයාගේ ඇවෑමෙන් සිහසුනට කෙනෙකු තේරීමේ බලය මහාවිහාරය වක්‍ර ලෙස යොදා ගත් බව ඉතිහාසයෙන් ප්‍රකට වෙයි. මේ බලයත් මාවිහාරය සතු වස්තු බලයත් හේතු කොට ගෙන සුවිශාල ලෞකික බල මහිමයක් මහාවිහාරය සතු විය. අනුරාධපුර යුගයේ පශුචාත් භිවය වන විට මහාවිහාරය මේ බලය     යොදන්නට  වූයේ ය. එබැවින් අභයගිරිය හා ජේතවනය යන නිකාය දෙක මැඩලීමට යෙදිය හැකි සෑම ප්‍රයත්නයක් ම  මහාවිහාරික භික්ෂුහු යෙදූහ


buddhistculture


Share

Mahabodhi Temple

කිංසීද සූත්‍රය

2015 වෙසක් තොරණ

47වන වරටත් ඉදිකළ - මහර තොරණ

 

Read more >>

යුගාසන කවි බණ 01

යුගාසන කවි බණ 02

වර්තමාන විහාරාධීපති

About Sriviwekaramaya

click here

Paritta

Paritta-01

Paritta-02

Paritta-03

Email Us :-

email

ගෞතම බුදුරජාණන් වහන්සේ

siddartha-kumaru
mul-jiwithaya-ha-vivahaya
buddathwayata-pathweema
gawthama-budurajanan-wahans
darma-pacharana-charika
sanga-samajaya-athiwima
lowata-sri-sddaramaya-pahal

bududhama
bududahame-ithihasaya
samma-sambuduwarun
niwana
thripitaka-ithihasaya
prathamadarma-sangayanawa
dewana-sangayanawa
thewana-sangayanawa
chathurarya-sathya
dukka-sathya
samudaya-sathya
niroda-sathya
dukka-niroda-gamini-patipad
therawada-bududhama
mahayana-bududhama
gihi-saha-pavidi-jiwithaya

anapanasathi-bawanawa

yoga-darshanaya

pasaloswaka-pohoya-dolaha-f

ශ්‍රී දළදා මාලිගාව

dalada-maligawa

රත්නමාලී යන්ත්‍රය

rathnamali-yanthraya

ata-wisi-bodi-puja

bodi-wandana-kawi

කලා ශිල්ප

srilankawe-kala-silpa
katayam-kalawa
athdath-katayam
isuru-muniya-katayam
wahalkada-katayam
korawak-gala-katayam
muragala-katayam
sadakada-pahana-katayam
ambakke-katayam

දහම් කරුණු

sathpurusa-ha-asathpurusa-p
sugathiya-ha-dugathiya
budunwahansege-iganweem
pranagathya-yanu-ha-in-midi
karmaya-ha-punarbawaya
alpechchathawaya
satharawaram-dewa-sankalpay
bawdha-chithra-kalawa
bawdha-darmaya-ha-chanithan
bududhama-ha-samaja-sankalp
bududhama-ha-samajaya
bududhama-ha-vivaha-jiwitha
nikaya-bedaya-ha-rajya-pala
barathiya-bawdha-padiwaru
sathara-sangra-wasthu
asu-maha-sawakayan-wahansel
biksu-sasanaya

කාව්‍ය ග්‍රන්ථ

subasithaya yasodarawatha

lowada-sagarawa

මෙම  කාව්‍ය ග්‍රන්ථ කියවන ඔබ සැමටත්  උතුම් වූ ශ්‍රී සද්ධර්මය  අවබෝධ වෙවා!......

ip address tracker software