topone

satharawaram-dewa-sankalpay

බෞද්ධ සාහිත්‍යයේ දැක්වෙන පරිදි සතරවරම් දෙවිවරු සිදුහත් බෝසතාණන්ගේ මවු කුස පිළිසිඳ ගැනීමේ පටන් බුදු පිරිනිවන දක්වා ම බුද්ධ චරිතය හා සම්බන්ධ වෙති. පූජාවලියට අනුව වරම් දෙවිරජවරු අප තථාගත සිරිත හා සම්බන්ධ වනුයේ සුමේධ තාපස අවස්ථාවේ සිටය.

දීපංකර තථාගතයන් වහන්සේ ‘මින් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයකට පසුව මෙතෙම අනාගතයේ ගෞතම නමින් බුදුවන්නේ යැ යි’ නියත විවරණ සිරි දී සමන්මල් අට මිටකින් තාපසතුමාට පූජා කළහ. රහතන් වහන්සේලාත් පැදකුණු කිරීමෙන් බුද්ධාංකුරයාණන්ට ගෞරව කළ පසුව, දසදහසක් සක්වල වරම් රජදරුවෝ සතලිස් දහසක් පැමිණ සතලිස් දහසක් දිවිමල් මිටින් සුමේධ තවුසාණන් පිදූ බව කියැවේ. 


පාලි මහාවංශයේ ‘දේවස්සුප්පලවණ්ණස්ස ලංකාරක්ඛං සමප්පයී’ යනුවෙන් විජය ප්‍රධාන පිරිස ද ලංකාව ද සුරකින ලෙස කළ බුද්ධ ආඥාව ලත් සක් දෙවිඳු ශ්‍රී ලංකාද්වීපයේ ආරක්ෂාව පවරන ලද්දේ ශ්‍රී උත්පලවර්ණ දිව්‍යරාජයාට බව කියැවේ. විජයාගමනයේ සිට ලංකාවේ පැවති උත්පලවර්ණ දේව ඇදහීම පසුව විෂ්ණු දේව ඇදහීම බවට පරිවර්තනය වූ ආකාරය පොළොම්මාරුවේ හේමසිරි හිමියෝ සිය ‘රුහුණේ ඇදහිලි හා විශ්වාස’ නම් කෘතියේ දී පෙන්වා දෙති. සුමන, සමන්, කළුබණ්ඩාර, මින්නේරි වැනි ප්‍රාදේශීයව පුද ලැබූ දෙවිවරු ද අතීතයේ සිට ම ලක්වැසියන්ගේ ගෞරවාදරයට පාත්‍ර වූහ. කෝට්ටේ යුගයේ ලියවුණු සන්දේශ සාහිත්‍යයේ දැක්වෙන පරිදි විභිෂණ නාථ (අවලෝකිතේශ්වර) විෂ්ණු (දෙවුන්දර උපුල්වන්) වැනි දෙවිවරු තත්කාලීන ජනතාවගෙන් පුදපූජා ලබා ඇත.


කෝට්ටේ යුගයේදී ‘ලංකාරක්ෂක සතරවරම් දෙවිවරු’ ලෙස සලකා ඇත්තේ කිහිරැළි උපුල්වන්, සමන් බොක්සැල්, විභීෂණ, ස්කන්ධ කුමාර යන දෙවිවරු සතර දෙනා බව ‘නිකාය සංග්‍රහයේ’ (බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය නැදිමාල - 1997.31.32 පිටු) අභිනව ජයවර්ධනයයි යන නමින් ප්‍රසිද්ධ කෝට්ටයක් ලවා එම නුවරමහ පවුර මුදුනෙහි සතර දිග ආරක්ෂා පිණිස සිරිලක අරක්ගත් කිහිරැළි උපුල්වන්, සමන් බොක්සැල්, විභීෂණ, ස්කන්ධ කුමාර යන සතරවරම් මහරජුනට වෙන වෙන දේවස්ථාන කරවා, යනුවෙන් දැක්වේ.

දොරකඩ අස්නෙහි සකෙලෙශ්වර්යාභිවෘද්ධිවර්ධනය කරනු පිණිස ධෘතරාෂ්ට්‍ර විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණය වන සතරවරම් දෙවි මහරජදරුවන් යනුවෙන් සහ අනුශාසනාවෙහි ‘චතුර්දිශාධිපති වූ ධෘතරාෂ්ට්‍ර, විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ යන සකල යක්ෂරාක්ෂසාධිපති සතරවරම් දෙවි මහරජ දරුවන් විසින් ද යනුවෙන් දැක්වෙන අතර ම අනුශාසනාවෙහි මේ ශ්‍රී ලංකාද්වීපයෙහි අධිගෘහිත බදිරදෙහලි වංශෝද්භූත උත්පලවර්ණ සුමන කාර්තිකේය විභීෂණ සංඛ්‍යාත සතර දේවාලයෙහි දෙවිමහ රජදරුවන් විසින් ද යනුවෙන් සතර මහා දේවාලයේ දෙවිවරු ද සම්භාවනාවට පත්කර ඇත.

වදන් කවිපොතේ සිද්ද කිහිරැළි සමන් බොක්සැල් ෂභීෂණ සිවුවරම් රජපති (71 කවිය) යනුවෙන් සිවුවරම් රජදරුවෝ නම් කර ඇත. ජේ. ඊ. සේදරමන් මහතාගේ ‘ප්‍රශස්ති කාව්‍ය රසය’ නම් (ගුණසේන - 1970 ප්‍රස්තාවනාව) කෘතියේ දී සතර දේවාල එනම් ලංකාවේ සතර දිග්භාගය රක්නා විෂ්ණු විභීෂණ සමන් කතරගම දෙවියන් වෙනුවෙන් ගොඩනගා ඇති දේවාල යනුවෙන් ඔවුන් ලංකාරක්ෂක දෙවිවරු සතරදෙන ලෙස සලකයි. 


සිරි ලියනගේ මහතා සංස්කරණය කළ ‘නිරුක්ති සහිත සිංහල ශබ්ද කෝෂය, ‘සතරවරම් දෙවි’ යන්නට අර්ථ දෙකක් දක්වා ඇත.

අ) ධ්‍රතරාෂ්ට්‍ර, විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ යන සතර දෙනාආ) උපුල්වන්, සමන් බොක්සැල්, විභීෂණ, ස්කන්ධ කුමාර යන ලාංකික දෙවිවරු සතර දෙනා. 


මේ අනුව අප සම්මා සම්බුදුරදුන් ධරමාන සමයෙහි ධ්‍රතරාෂ්ට්‍ර, විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ යන මොවුන් සිවුවරම් රජදරුවන් වශයෙන් සැලකූ® නමුත් කෝට්ටේ සහ මහනුවර සමයන්හි දී සිවුවරම් රජදරුවන් වශයෙන් සලකන ලද්දේ උපුල්වන් (විෂ්ණු) සමන් බොක්සැල්, ස්කන්ධ කුමාර, විභීෂණ යන දෙවිවරු බවත් ඇතැමෙක් විෂ්ණු කතරගම නාථ පත්තිනි යන සතර දෙන සතර වරම් දෙවියන් වශයෙන් හැඳින්වු බව ද පෙනේ. ඉහත දැක් වූ තොරතුරු අනුව සතරවරම් දෙවිවරු පිළිබඳ බොහෝ ප්‍රකට මතය වනුයේ විෂ්ණු, විභීෂණ, සමන්, කතරගම දෙවිවරු සතර දෙන ලක්දිව රක්නා බවයි. 


පාලි ත්‍රිපිටකයේ හා අටුවාවන්හි නිතර කියැවෙන සතර දිසාවට අධිපති බෞද්ධ සතරවරම් දෙවිවරු පිළිබඳව ඇති ලාංකීය ඓතිහාසික මූලාශ්‍රමය තොරතුරු ඉතා අල්පය. එම ඉපැරණි සිවුවරම් රජදරුවන් පිළිබඳ තොරතුරු විමසා බැලීම මෙම ලිපියේ අරමුණ වේ.


දීඝ නිකායේ මහාසමය සූත්‍රයේ පැවසෙන පරිදිපුරිමං දිසං ධතරට්ඨො - දක්ඛිණෙන විරූල්හකොපච්ඡිමෙන විරූපක්ඛො - කුවෙරො උත්තරං දිසං

නැගෙනහිර දිසාවට ධතරට්ඨ දෙවිරජු ද දකුණු දිසාවට විරූළ්හක දෙවිරජු ද බටහිර දිසාවටට විරූපක්ඛ දෙව්රජු ද උතුරු දිසාවට කුවෙර (වෙස්සවණ) දෙව්රජු ද අධිපතිකම් කරමින් සිවුදිසාවන්හි ආරක්ෂාව පතුරවති.


1. වරම් රජවරුන්ගේ ගෞතම බුදුසිරිත හා සබැඳි තොරතුරු


බෞද්ධ සාහිත්‍යයේ දැක්වෙන පරිදි සතරවරම් දෙවිවරු සිදුහත් බෝසතාණන්ගේ මවු කුස පිළිසිඳ ගැනීමේ පටන් බුදු පිරිනිවන දක්වා ම බුද්ධ චරිතය හා සම්බන්ධ වෙති. පූජාවලියට අනුව වරම් දෙවිරජවරු අප තථාගත සිරිත හා සම්බන්ධ වනුයේ සුමේධ තාපස අවස්ථාවේ සිටය. දීපංකර තථාගතයන් වහන්සේ ‘මින් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයකට පසුව මෙතෙම අනාගතයේ ගෞතම නමින් බුදුවන්නේ යැ යි’ නියත විවරණ සිරි දී සමන්මල් අට මිටකින් තාපසතුමාට පූජා කළහ.

රහතන් වහන්සේලාත් පැදකුණු කිරීමෙන් බුද්ධාංකුරයාණන්ට ගෞරව කළ පසුව, දසදහසක් සක්වල වරම් රජදරුවෝ සතලිස් දහසක් පැමිණ සතලිස් දහසක් දිවිමල් මිටින් සුමේධ තවුසාණන් පිදූ බව කියැවේ. (පූජාවලිය - 1997 - 24 පිටුව) මෙම අවස්ථාව වර්ණනා කරන පූජාවලියට පෙර ලියවුණු ජාතකට්ඨකථාවේ විශේෂයෙන් වරම් දෙවිවරු ඉස්මතු කර දක්වා නැත. බුදු මහරහත් උතුමෝ සුමේධ තවුසාණන්ට ගරු කළ පසුව ‘දෙවමනුස්සා පන තථෙව පූජෙත්වා වන්දිත්වා’ යි රැස් වූ සියලු දෙවි මිනිස්සු එසේ ම පුදා වැඳ ගිය බව එහි කියැවේ. (ජාතකට්ඨ කතා - 1926 - 17 පිටුව) 


සක් දෙවිඳු ප්‍රධාන දෙවියන්ගේ ඇරයුමට අනුව පස්මහබැලුම් බලා සිදුහත් බෝසතාණෝ තුසීපුරයෙන් චුතව මවුකුස පිළිසිඳ ගැනීමේ දී මහාමායා දේවිය සිහිනෙන් සිවුවරම් දෙව්රජදරුවන්ගේ උපස්ථාන ලබනු දුටුවා ය. මෙම සිදුවීම දැක්වෙන පැරණි ම මූලාශ්‍රයක් ලෙස සැලකිය හැකි ජාතකට්ඨකථාවේ බාහිර නිදානයේ දී එම පුවත මෙසේ දැක්වේ. ‘මහරජවරු සිවුදෙන (චත්තාරො කිර මහාරාජානො) ඇඳත් සමඟ මහාමායා රජදේවිය ඔසවාගෙන හිමවතට ගෙන ගොස්, සැටයොදුන් මනෝසිලාතලයේ සත්යොදුනක් විසාල මහ සල් ගසක් යට ඇඳ තැබූහ.

ඉක්බිති ඔවුන්ගේ දෙවිවරු පැමිණ රජදේවිය අනෝතත්ත විලට ගෙනගොස් මිනිස් කිලිටි ඉවත් කිරීමට (මනුස්සමල හරණත්ථං) නාවා දිවවස්ත්‍ර හඳවා දිව සුවඳ ගැල්වූහ. (ජාතිකට්ඨකථා 1 - 1926 - 49 පිටුව) පූජාවලියේ ද ‘වරම්රජදරුවෝ සතරදෙන තුන්ගවු උස දිව්‍ය ශරීරයෙන් රන්ශොභා විහිදුවා ආදි ලෙස මෙම පුවත තවත් සවිස්තරව ඉදිරිපත් වේ. (පූජාවලිය - 126 පිටුව) පාලි මූලාශ්‍රයන්හි වරම් දෙවිවරුන්ගේ බිසෝවරු පිළිබඳව සඳහන් වන එකම අවස්ථාව මෙය විය හැකිය. 

මජ්ඣිම නිකායේ එන අච්ඡරියබ්භූත සූත්‍රයෙහි බෝසත් කුස පිළිසිඳගත් අවස්ථාවෙහි දේවපුත්‍රයෝ සිවුදෙනෙක් කුමරුට හා මවට ආරක්ෂා රැකවරණ සලසන බව කියැවේ.


‘යදා ආනන්ද! බොධිසත්තො මාතුකුච්ඡිං ඔක්කන්තො හොති, චත්තාරො නං දෙවපුත්තා චතුද්දිසං ආරක්ඛාය උපගච්ඡන්ති’ ආනන්දය! යම් කලෙක බෝසත් මවුකුස පිළිසිඳ ගන්නේ වේ ද එකල ඳඬසක් වේවයි නොමිනිසෙක් වේවයි කිසිවෙක් ඒ බෝසත් හෝ බෝසත් මව හෝ නොපෙළාවායි දිව්‍ය පුත්‍රයෝ සතර දෙනෙක් සිවුදිග ආරක්ෂා පිණිස ඔහු කරා එති. (බුද්ධජයන්ති සංස්කරණයේ සිංහල අර්ථ දෙනවිට චත්තාරො දේවපුත්තා යන්න සිවුවරම් රජදරුවෝ යි පරිවර්තනය කර ඇත) 


අච්ඡරියබ්භූත සූත්‍රයෙහි ‘චත්තාරො දේවපුත්තා’ යනුවෙන් දිව්‍යපුත්‍රයෝ සතර දෙනෙක් මිස වරම්දෙව් රජවරු යැයි නොකියවේ. නමුත් ඊට ලියු අටුවාවෙහි ‘එත්‍ථ චත්තාරොති චතුන්නං මහාරාජානං වසෙන වුත්තං’ මෙහි චත්තාරෝ යනු සිවුවරම් මහරජදරුවන් බව පවසයි. තවත් ඉදිරියට යමින් මජ්ඣිම නිකායට්ඨකථාවේ දසදහසක් සක්වල සතලිස් දහසක් වරම් දෙව්රජවරු පැමිණ කුසහොත් බෝසත් කුමරු හා මව සුරකින බව කියැවේ. (මජ්ක්‍ධිම නිකායට්ඨකථා 4 - 1952 - 120 පිටුව) 

ජාතකට්ඨකථාවේ පැවසෙනුයේ ‘පටිසන්ධිතො පට්ඨාය බොධිසත්තස්ස චෙව බොධිසත්තමාතුයා ච උපද්දවානිවාරණත්ථං ඛග්ගහත්ථා චත්තාරො දෙවපුත්තා ආරක්ඛං ගණ්හිංසු (ජාතකට්ඨකථා 1 - 1926 - 49 පිටුව) යනුවෙන් පිළිසිඳීමේ පටන් බෝසතුන්ට ද බෝසත් මවට ද වන උවදුරු වළකීමට කඩුගත් අත් ඇති දිව්‍ය පුත්‍රයෝ සතර දෙනක් අරක්ගත් බවයි.

වරම් දේව පුවතක් හෝ දසදහසක් සක්වල වරම් දෙවිවරුන්ගේ ආගමනයක් පිළිබඳව හෝ එහි සඳහන් නොවේ. නමුත් අමාවතුර හා පූජාවලිය යන පසුකාලීන ධර්ම ග්‍රන්ථ අනුව මඟුල් කඩු ගත් ඇතිව ශ්‍රී යහන් ගබඩාවේ සතරදිග රැකවල් ගෙන සිටිනුයේ වරම් රජවරු සතරදෙන ය. 


(පූජාලිය - 97 - 131 පිටුව / ‘අමාවතුර’ 98 - 11 පිටුව) දස දහසක් සක්වල සිටින වරම් රජවරු සතලිස් දහස පැමිණ දේවිය වෙසෙන ගැබ්දොරෙහි සිට සක්වල ගල දක්වා ආරක්ෂාව සැලසූ බව එම ග්‍රන්ථයන්හි ද කියැවේ.


පශ්චිම භවික බෝසත්වරු එම භවයේ දීම නිර්වාණාවබෝධය සිදුකර මිස කිසිදු උපද්‍රවයකින් නොමැරිය හැකි බව ධර්මතාවයකි. එසේනම් වරම් රජදරුවන්ගේ සුවිශේෂි ආරක්ෂාවක් බෝසතුන්ට මෙසේ ලබා දෙනුයේ ඇයි? ඊටහේතු කිහිපයක් දීඝ නිකාය අටුවාවෙහි මෙසේ දක්වා ඇත. 


1. දස දහසක්වල මාරයන්ගෙන් කුමරුට හා මවට වන පීඩාවන් දුරු කිරීමට

2. අපි‍්‍රයජනක ශබ්දවලින් බෝසත් මව බිය නොවී රැක ගැනීමට

3. බෝසතුන්ගේ පින් මහිමය නිසා ඊට කරන ගෞරවාචාරයක් වශයෙන් මෙසේ වරම්රජවරු බුදුවන ආත්මභාවයේ බෝසත් කුස පිළිසිඳගත් 


මොහොතෙහි පටන් බෝසත් මවට නොපෙනෙමින් සිට ඇයව ආරක්ෂාකිරීම ආශ්චර්ය අද්භූත කාරණයකි.

බුදුවන අත්භවේ දී බෝසතුන් මවුකුසින් බිහිවන අවස්ථාවෙහි ද දිව්‍යපුත්‍රයෝ සිවුදෙනෙක් පැමිණ එතුමන් පිළිගැනීම තවත් ආශ්චර්ය අද්භූත කාරණයක් ලෙස අච්ඡරියබ්භූත සූත්‍රයෙහි කියැවේ. ‘යදා ආනන්ද! බොධිසත්තො මාතුකුච්ජිම්හා නික්ඛමති අප්පත්තොව බෝධිසත්තො පඨවිහොති; චත්තාරො නං දෙවපුත්තා පටිග්ගහෙත්වා මාතු පුරතො ඨපෙන්ති’ (ආනන්දය! යම් කලෙක බෝසත් මවුකුසින් බිහිවේ ද ඒ බෝසත් පොළවට නොපැමිණියේ ම වේ. සිව්දෙව්පුත්හු ඔහු පිළිගෙන ‘දේවිය සතුටුවන්න. ඔබට මහේශාක්‍ය පුතෙක් ඉපදුණේය’ යැයි පවසමින් කුමරු මව ඉදිරියේ තබති. (බුද්ධජයන්ති සංස්කරණයේ සිංහල අර්ථ දෙනවිට චත්තාරො දෙවපුත්තා යන්න සිවුවරම් රජදරුවෝ යි පරිවර්තනය කර ඇත. (මජ්ඣිම නිකාය - 3 - 292 - 293 පිටු)


‘චත්තාරො නං දෙවපුත්තාති චත්තාරො මහාරාජානො’ යන මජ්ඣිම නිකායට්ඨකථා (4 - 1952 - 123 පිටුව) පාඨයට අනුව මෙහිදී ද කුමරු පිළිගැනීමට පැමිණියෝ වරම් දෙව්රජවරු වෙති. අටුවාවේ පැවසෙන පරිදි ඔවුහු මව්කුසින් බිහිවන බෝසතුන් පිළිගත්තේ අඳුන් දිවි සමකිනි. (අජිනප්පවේණිය පතිගණ්හිත්වා) මෙසේ පිළිසිඳ ගත් මොහොත් සිට මවුගැබට ආරක්ෂාව සැපයීම හා බිහිවන මොහොතේ පිළිගැනීම සිව්වරම් රජදරුවන්ගෙන් අප සිදුහත් බෝසතුන්ට පමණක් සිදුවූ දෙයක් නොව සෑම බෝසත්වරයෙකුට ම බුදුවන අත්බවෙහි මෙම ගෞරවය වරම් රජවරුන් වෙතින් ලැබෙන බව පෙළෙහි හා අටුවාවන්හි කියැවේ. 


ජාතකට්ඨකථාවේ (1 - 1926 - 51 පිටුව) දී සිදුහත් උපන් අවස්ථාව දක්වා ඇත්තේ මෙසේය. තං බණං යෙව චත්තාරොපි සුද්ධචිත්තා මහා බ්‍රහ්මානො සුවණ්ණජාලං ආදාය සම්පන්තා තෙන සුවණ්ණජාලෙන බොධිසත්තං සම්පටිච්ඡත්වා මාතු පුරතො ඨපෙත්වා ‘අත්තමනා දෙවී! හොහි මහෙසක්කො තෙ පුත්තො උප්පන්නො’ ති ආහංසු.... අථ නං සුවණ්ණජාලෙන පටිග්ගහත්වා ධීතානං බ්‍රහ්මානං හත්‍ථතො චත්තාරො මහාරාජානො මංගල සම්මතාය සුඛසම්පස්සාය අජිනප්පවෙණියා ගණ්හිංසු’ දේවියගේ කුසින් බෝසතුන් බිහි වූ ක්‍ෂණයෙහි ම පිරිසුදු සිත් ඇති මහා බ්‍රහ්මයෝ සිවු දෙනෙක් රන් දැලක්ගෙන පැමිණියහ.

ඒ රන්දැලින් බෝසතුන් මැනවින් පිළිගෙන මව ඉදිරියෙහි තමා ‘දේවිය සතුටුවන්න. නුඹට මහේශාඛ්‍ය පුතෙක් උපන්නේ ය. යැයි කීහ.... ඉන්පසු එසේ රන්දැලින් පිළිගෙන සිටි බ්‍රහ්මයන්ගේ අතින් සිවුවරම් රජදරුවෝ මංගල සම්මත සුවපහස් ඇති අඳුන් දිවිසමකින් කුමරු පිළිගත්හ. දේවිය ඔබට මහේශාක්‍ය පුතෙක් උපන්නේය යන කාරණය දැනුම් දෙන්නේ අච්ඡරියබ්භූත සුත්‍රයට අනුව වරම්රජවරු වුවත් ජාතකට්ඨකථාවේ එම ප්‍රකාශය මහබඹුන්ගේ ප්‍රකාශයක් ලෙස දැක්වේ. 


දීඝ නිකායටීකාවේ (දීඝනිකායටීකා - බ්‍රහ්මජාලවණ්ණනා - හේවාවි - 1967 - 72 පිටුව) මහාසත්තං පඨමං බ්‍රහ්මානො සුවණ්ණජාලෙන පටිග්ගණ්හිංසු, තෙසං හත්ථතො චත්තාරො මහාරාජානො අජිනප්පවෙණියා, තෙසං හත්‍ථතො මනුස්සා දුකූලචුම්බටකෙන පටිග්ගණ්හිංසු’ යනුවෙන් පැවසෙනුයේ ද පළමුව මහබෝසත්හු බ්‍රහ්මයන් විසින් පිළිගත් බවයි. සිවුවරම් රජදරුවෝ දෙවැනිව බෝසතුන් පිළිගත්හ. ඉන්පසුව මනුෂ්‍යයෝ උන්වහන්සේ පිළිගත්හ. 


අච්ඡරියබ්භූත සූත්‍රයට හා එහි අටුවාවට අනුව බෝසතුන් බිහිවන අවස්ථාවේ පිළිගැනීමට පැමිණියේ වරම්දෙව් රජවරු පමණි. නමුත් ජාතකට්ඨකථාවෙන් හා ඊට පසුව ලියවුණු කෘතිවල එම විශ්වාසය මඳක් වෙනස් වී වරම්රජවරු දෙවනි ස්ථානයට පත්කර ඇති ආකාරය දැකිය හැකිය. දඹදෙණි යුගයේ රචිත ජිනචරිතය නම් පාලි කාව්‍යයේද පැවසෙනුයේ මවු කුසින් බිහිවන බෝසතුන් පළමුව මහාබ්‍රහ්මයා ප්‍රමුඛ බ්‍රහ්ම පිරිසක් විසින් රන් දැලකින් පිළිගෙන අනතුරුව දෙවියන්ට දුන් බවයි. 


‘බ්‍රහ්මා මනග්ඝරති වඩ්ඩන හෙමජාල - මාදායතෙන උපගම්ම පටිග්ගහෙත්වා (89 ගාථාව) 

අච්ඡරියබ්භූ®ත සූත්‍රයේ මහාමායා දේවියට වරම් රජවරු පවසන්නේයැයි දැක්වූ සුභාරංචිය බ්‍රහ්ම පිරිස විසින් දැනුම් දුන් බව ජිනචරිතයේද දැක්වේ. ආනන්ද මෛත්‍රීය නාහිමි ලියු බුද්ධ චරිතයෙහි ද කුසින් බිහිවන බෝසත්හු පළමුව රන්දැලින් පිළිගත්තේ බ්‍රහ්මයන් සිවුදෙනෙකු බවත්, දෙවනුව කුමරු බ්‍රහ්මයන් අතින් වරම් රජදරුවෝ පිළිගත් බවත් කියැවේ. බෝසත් මවුකුසින් බිහිවූ මොහොතෙහි ම ශුද්ධාවාසයෙන් අරහන්ත බ්‍රහ්මරාජයෙක් පැමිණ රන්දැලකින් කුමරු පිළිගෙන රජදේවියට පී‍්‍රතිවාක්‍ය පැවසීෙමින් අනතුරුව වරම් රජදරුවෝ සතරදෙන අභිමංගල සම්මත වූ සියුම්පහස් ඇති අඳුන් දිවිසමකින් කුමරු පිළිගත් බව පූජාවලියේ (133 - 134 පිටු) සඳහන් වේ.

බ්‍රහ්මයන් සිවුදෙනෙකු පිළිබඳව එහි නොකියැවේ. අමාවතුරේ දැක්වෙන පරිදි ශුද්ධාවාසයෙන් රහත් බ්‍රහ්මයෝ කිහිපදෙනෙක් පැමිණ රන්දැලකින් බෝසත් කුමරු පිළිගෙන සතරවරම් මහරජුන්ට දෙවනුව දෙති. (අමාවතුර - 1998 - 12 - 13පිටු) කිරි මවුවරුන්ට ආවේශ වූ වරම් රජදරුවන් විසින් සිදුහත් කුමරු පිළිගන්නා ලදැයි මහායාන ලේඛනවල සඳහන් වේ. පසුකාලීන විස්තරයන්හි දී අච්ඡරියබ්භූත සූත්‍රයෙහි සහ එහි අටුවාවෙහි වරම් රජවරුන්ට ලැබුණු සුවිශේෂි ගෞරවය එලෙසින් ම ලබාදී නැති බව මේ අනුව පෙනීයයි.

බ්‍රාහ්මණ - හින්දු බලපෑම් නිසාදෝ ඉදිරියට මහා බ්‍රහ්මයකු ගෙන ඇත. බුද්ධකාලීනව සහ බුද්ධඝෝෂ මා හිමියන්ගේ ලංකා ගමනයට පෙර පැවති සිවුවරම් දෙව් රජවරුන් පිළිබඳ විශ්වාසය ඉන්පසුව ලංකාවේ ග්‍රන්ථ සම්පාදකයන් අතින් ක්‍රමයෙන් වියැකී යන අන්දම ඉහත දැක්වූ මූලාශ්‍ර අධ්‍යයනයෙන් මැනවින් අවබෝධ වේ. 


සම්ප්‍රදායික පිළිගැනීම අනුව මජ්ක්‍ධිමනිකායට්ඨ කථාව සහ ජාතකට්ඨකථාව යන පාලි අටුවා දෙක ම රචනා කරන ලද්දේ ක්‍රිස්තු වර්ෂ පස්වන සියවසේ දී ලංකාවට පැමිණි බුද්ධඝෝෂ මා හිමියන් විසිනි. මහමායා කුසින් බිහිවු සිදුහත් කුමරු සිවුවරම් දෙවිවරු විසින් පමණක් පිළිගත් බව මජ්ක්‍ධිමනිකායට්ඨකථාවේ දැක්වෙන නමුත් ජාතකට්ඨකථාවේ බාහිර නිදානයේ දී පැවසෙනුයේ බ්‍රහ්මයන් සිවුදෙනා කුමරු පළමුව පිළිගත් බවයි.


ෑම අටුවාකරණයකදීම (සූත්‍ර - විනය - හා අභිධර්ම) වෙන වෙන ම බාහිර නිදාන වණ්ණනා ලියු හෙයින් ජාතකට්ඨකථාවේ බාහිර නිදාන වණ්ණනාව ද බුද්ධඝෝෂ මා හිමියන්ගේ රචනාවක් විය හැකිය. එනිසා බ්‍රහ්ම පුවත (උන්වහන්සේ උපතින් බ්‍රාහ්මණ වංශිකයෙකි) නොදැනුවත්ව ම උන්වහන්සේ අතින් යෙදෙන්නට ඇත. නමුත් මජ්ක්‍ධිමනිකායට්ඨකතාව උන්වහන්සේ රචනා කළේ මහාවිහාරයේ මජ්ඣිම නිකායට ලියවී තිබුණු හෙළටුවා පාදක කරගෙන බැවින් බ්‍රහ්ම පුවත එතැනට නොයෙදුණි. මේ අනුව පාලි අට්ඨකථා රචනයට පෙර යුගයේදී බෞද්ධ සතර වරම් දේව සංකල්පය ලංකාවේ මැනවින් පිහිටා තිබු බවත් පසුව අන්‍ය සමයන්හි හා සංස්කෘතීන්හි බලපෑමෙන් එම සංකල්පය වෙනස් ව ගිය බවත් කිව හැකිය.


ඉන්පසුව සුජාතා කිරිපිඬු දානය පිළියෙල කරන අසිරිමත් අවස්ථාවෙහි ද වරම් රජවරු බුද්ධ ගෞරවයෙන් පැමිණි ආකාරය ජාතකට්ඨකථාවේ (1 - 66 පිටුව) මෙසේ සඳහන් කර ඇත. ‘තස්මිං සමයෙ චත්තාරො ලොකපාලා ආගන්වා උද්ධනෙ ආරක්ඛං ගණ්හිංසු’ එසමයෙහි ලෝපාලක දෙවියෝ සිවදෙන අවුත් (කිරිපත පිසෙන) උඳුනේ (සිවුදිග) ආරක්ෂාව ගත්හ. මනෝරථපූරණියේ ද (1 - 1923 - 239 පිටුව) ‘මහාබ්‍රහ්මා ඡත්තං ධාරෙසි චත්තාරො ලොකපාලා ඛග්ගහත්‍ථා ආරක්ඛං ගණ්හිංසු.

සක්කො අලාතානි සමානෙන්තො අග්ගිං ජාලෙසි’ යනුවෙන් මහබඹු පැසෙන කිරිබතට සේසත දැරූ බවත් ලෝකපාලක දෙවිවරු සිවුදෙන කඩුගත් අත් ඇතිව ආරක්ෂාව ගත් බවත් ශක්‍රයා දර ගෙනවුත් ගිනිදැල් වූ බවත් කියැවේ. පසුකාලීන ධර්ම ග්‍රන්ථවල ද මෙම සිදුවීම එලෙසින් ම විස්තර කර ඇත. ‘එ වේලෙහි වරම් රජදරුවෝ සතරදෙන අවුත් උඳුන සතරදිග රැකවල් ගත්හ’. යනුවෙන් පූජාවලියේ (172 පිටුව) ද අමාවතුරේ ද (24 පිටුව) මෙම සිදුවීම තවත් විස්තර කර දැක්වේ. ලලිත විස්තරය නම් මහායාන කෘතියේ ද වෙනත් ද්විතීයික මූලාශ්‍රවල ද මෙම සිදුවීම විස්තර කර ඇත. 


සම්බුද්ධත්වයට පත් වූ පසුව මුලින් ම සිවුවරම් දෙව්වරු පැමිණෙනුයේ ප්‍රථම දානය පිළිගන්නා අවස්ථාවෙහි දීය. තපස්සු - භල්ලුක වෙළෙඳ දෙබෑයන්ගේ දානය පිළිගැනීමේ දී ඇති වූ චිත්තපරිවිතර්කය දැනගත් සිවුවරම් දෙව්වරු, බුදුරජාණන් වහන්සේට ශෛලමය පාත්‍ර සතරක් පූජා කළහ. මහාවග්ග පාලියේ එම අවස්ථාව මෙසේ දැක්වේ. 


‘අථ ඛො භගවා එතදහොසි, න ඛො තථාගත හෙත්‍ථසු පතිගණහන්ති, කිම්භිනුඛො අහං පතිගණ්හෙය්‍යං මත්‍ථඤ්ච මධුපිණ්ඩිකඤ්චාතී. අථ ඛො චත්තාරො මහාරාජා භගවතො චෙතසා චෙතො පරිවිතක්කමඤ්ඤාය චතුද්දිසා චත්තාරො සෙලමයෙ පත්තෙ භගවතො උපනාමෙසුං ඉධ භන්තෙ භගවා පතිගණ්හාතු මත්‍ථඤච මධුපිණ්ඩිකඤ්චාතී’ එකල භාග්‍යවතුන් වහන්සේට මෙබඳු සිතක් ඇතිවිය. ‘තථාගතයෝ අතින් පිළි නොගනිති. මම කුමකින් අත්සුණු ද මී පිඬු ද පිළිගන්නෙම් ද? එකල සතරවරම් රජවරු තම සිතින් භාග්‍යවතුන් වහන්සේගේ සිත පිළිබඳ නොනිමි කල්පනාව දැන සිවුදිගින් ශෛලමය වූ පාත්‍රා සතරක් ‘ස්වාමිනි! භාග්‍යවතුන් වහන්සේ මෙයින් අත්සුණු ද මී පිඬු ද පිළිගන්නාසේක්වා’ යි කියා උන්වහන්සේට පිරිනැමූහ.


උන්වහන්සේ එම පාත්‍ර සතර එක් පාත්‍රයක් වන සේ අධිෂ්ඨාන කර වෙළෙඳ දෙබෑයන්ගේ දානය පිළිගත් බව දාඨාවංසයේ ද ජිනචරිතයේද දක්වා ඇත්තේ මෙසේය. 


වාණිජෙහි සමාණීතං සමන්ථමධුපිණ්ඩිකංමහාරාජුපනීතම්හි පත්තම්හි පතිගණ්හියතතො මහාරාජවරෙහි ආහතං - සිලාමයං පත්ත චතුක්කමෙකකංවිධාය මන්‍ථං මධුපිණ්ඩිකං තහිං - පටිග්ගහෙත්වාන සවාණිජාහටං’ 


මාතර පහළ පීක්වැල්ල පන්ථාරාමයේ

හත්තොටුවේ ඉන්දරතන හිමි


Share

Mahabodhi Temple

කිංසීද සූත්‍රය

2015 වෙසක් තොරණ

47වන වරටත් ඉදිකළ - මහර තොරණ

 

Read more >>

යුගාසන කවි බණ 01

යුගාසන කවි බණ 02

වර්තමාන විහාරාධීපති

About Sriviwekaramaya

click here

Paritta

Paritta-01

Paritta-02

Paritta-03

Email Us :-

email

ගෞතම බුදුරජාණන් වහන්සේ

siddartha-kumaru
mul-jiwithaya-ha-vivahaya
buddathwayata-pathweema
gawthama-budurajanan-wahans
darma-pacharana-charika
sanga-samajaya-athiwima
lowata-sri-sddaramaya-pahal

bududhama
bududahame-ithihasaya
samma-sambuduwarun
niwana
thripitaka-ithihasaya
prathamadarma-sangayanawa
dewana-sangayanawa
thewana-sangayanawa
chathurarya-sathya
dukka-sathya
samudaya-sathya
niroda-sathya
dukka-niroda-gamini-patipad
therawada-bududhama
mahayana-bududhama
gihi-saha-pavidi-jiwithaya

anapanasathi-bawanawa

yoga-darshanaya

pasaloswaka-pohoya-dolaha-f

ශ්‍රී දළදා මාලිගාව

dalada-maligawa

රත්නමාලී යන්ත්‍රය

rathnamali-yanthraya

ata-wisi-bodi-puja

bodi-wandana-kawi

කලා ශිල්ප

srilankawe-kala-silpa
katayam-kalawa
athdath-katayam
isuru-muniya-katayam
wahalkada-katayam
korawak-gala-katayam
muragala-katayam
sadakada-pahana-katayam
ambakke-katayam

දහම් කරුණු

sathpurusa-ha-asathpurusa-p
sugathiya-ha-dugathiya
budunwahansege-iganweem
pranagathya-yanu-ha-in-midi
karmaya-ha-punarbawaya
alpechchathawaya
satharawaram-dewa-sankalpay
bawdha-chithra-kalawa
bawdha-darmaya-ha-chanithan
bududhama-ha-samaja-sankalp
bududhama-ha-samajaya
bududhama-ha-vivaha-jiwitha
nikaya-bedaya-ha-rajya-pala
barathiya-bawdha-padiwaru
sathara-sangra-wasthu
asu-maha-sawakayan-wahansel
biksu-sasanaya

කාව්‍ය ග්‍රන්ථ

subasithaya yasodarawatha

lowada-sagarawa

මෙම  කාව්‍ය ග්‍රන්ථ කියවන ඔබ සැමටත්  උතුම් වූ ශ්‍රී සද්ධර්මය  අවබෝධ වෙවා!......

ip address tracker software